උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මුල

ජන 05, 2021

    අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වසරේ මාර්තු මාසයේ අග හෝ අප්‍රේල් මාසයේ මුල් සතිය වනවිට ලබාදීමට පියවර ගන්නා බවත් කොවිඩ් හේතුවෙන් හුදකලා කරන ලද පොලිස් වසම් තුළ පිහිටි පාසල් හැර බස්නාහිර පළාතේ අනෙකුන් පාසල්වල 11 ශ්‍රේණිය ජනවාරි මස 25 වැනි දින සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

    බස්නාහිර හා හුදකලා ප්‍රදේශවල හැර දිවයිනේ සෙසු පළාත්වල පාසල් ප්‍රාථමික ශ්‍රේණිද ඇතුළත්ව ජනවාරි මස 11 වැනි දින සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පියවර ගෙන තිබේඤ.

    එළඹෙන මාර්තු මස පැවැත්වීමට නියමිත අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ගේ විෂය නිර්දේශ ආවරණය කිරීමේ ප්‍රමුඛ අවශ්‍යතාව සලකා බස්නාහිර පළාතේද 11 ශ්‍රේණි සිසුන් සම්බන්ධයෙන් මෙම තීරණය ගත් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    මේ වනවිට 1-11 ශ්‍රේණි දක්වා සියලු පාසල් සිසුන්ට අදාළ පෙළ පොත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලු පාසල් වෙත බෙදාදීමට පියවර ගෙන ඇත.

    අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය මගින් ඕනෑම පෙළ පොතක් අන්තර්ජාලය හරහා බාගත කරගැනීමටද අවස්ථාව සලසා ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ පවත්වන ලද අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වසරේ මාර්තු මාසයේ අග හෝ අප්‍රේල් මාසයේ මුල් සතිය වනවිට ලබාදීමට පියවර ගන්නා බවත් ඒ අනුව ඔවුන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශ අවස්ථා ඉතා කෙටිකාලයක් තුළ සම්පාදනය කර දෙමින් කොවිඩ් හේතුවෙන් මඟහැරී ගිය කාලය පාඩුවක් නොවන අයුරින් ආවරණය කරන්නට පියවර ගන්නා බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

    එමෙන්ම පසුගිය වසරේ දෙසැම්බර් මාසයට යෙදී තිබූ සාමාන්‍ය පෙළ විභාගය මේ වසරේ මාර්තු මාසයට කල් දැමීම නිසා දරුවන්ට කිසිදු පාඩුවක් හෝ කාලය අපතේ යාමක් සිදු නොවන්නට සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉතා ඉක්මණින් ලබාදීමට පියවර ගන්නා බව අවධාරණය කළ අධ්‍යාපන අමාත්‍යවරයා, එම දරුවන් වෙනුවෙන් උසස් පෙළ පන්ති ජූලි මාසය වනවිට ආරම්භ කිරීමටද සියලු පියවර ගන්නා බව පැවසීය.

    කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙරට පාසල් ආරම්භ කිරීම ඉතා අභියෝගාත්මක තීරණයක් බවද දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව සහ අප්‍රමාදව සිදුකරගෙන යාම වෙනුවෙන් එම තීරණය ඉතා වගකීම් සහගතව සෞඛ්‍ය බලධාරීන්ගේද පූර්ණ උපදෙස් සහිතව ලබාගත් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් ආරම්භ කිරීමට පූර්වයෙහි සහ පාසල් ආරම්භයෙන් පසු විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිසුන් සහ දෙමව්පියන් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධව අංග සම්පූර්ණ වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය (www.moe.gov.lk) මගින් හා මාධ්‍ය මගින් මේ සම්බන්ධව දැනුවත් කර තිබේ.

    විශේෂයෙන්ම පාසල් සිසුන් ප්‍රවාහනය, පාසල්වල විවේක කාලය පැවැත්වීම, ගුරුවරුන් සිසුන් සහ දෙමව්පියන් විසින් අනුගමනය කළ යුතු පොදු උපදෙස්ද ඇතුළත් මාර්ගෝපදේශ මාලාවක් සෑම පාසලක් වෙතම මේ වනවිටත් නිකුත් කර තිබේ.

    ජනවාරි 6 වැනි බදාදා දින සිට ජනවාරි 10 ඉරිදා දක්වා කාලය තුළ පාසල් තුළ මෙම සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙළ පදනම් කරගනිමින් ගුරු-දෙගුරු හමුවීම් මගින් හෝ සාකච්ඡා මගින් පාසලට අදාළ සෞඛ්‍යාරක්ෂණ වැඩපිළිවෙළ සකස් කරගත යුතු බව ද අමාත්‍යවරයා පැවසීය.

    ඊයේ (04) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

    Latest News