“විරු අභිමන්” කොවිඩ් 19 රක්ෂණාවරණ සහතිකය ජනපතිට පිළිගැන්වෙයි

දෙසැ 22, 2020

    “විරු අභිමන්” කොවිඩ් 19 රක්ෂණාවරණයේ දෙවැනි අදියර ආරම්භ කරමින් රක්ෂණාවරණ සහතිකය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා විසින් අද (22) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

    කොවිඩ් 19 වසංගත අවදානම සමග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය පසුගිය අප්‍රේල් මාසයේ දී රක්ෂණාවරණයේ පළමු අදියර ක්‍රියාත්මක කළේය. කොවිඩ් මර්දනයේ පෙරමුණ ගෙන ක්‍රියාකරන වෛද්‍ය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ත්‍රිවිධ හමුදා, පොලීසිය ඇතුළු රාජ්‍ය අංශයේ නිලධාරීහූ ඉන් ආවරණය කෙරෙති.

    දෙවැනි අදියර යටතේ රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේ සියලුම සේවකයන් දායක කර ගැනීමට අපේක්ෂා කෙරේ.

    කොවිඩ් 19 නිසා ජීවිතය අහිමිවීමකදී “විරු අභිමන්” රක්ෂණාවරණය රුපියල් 100,000ක් ප්‍රදානය කරයි. රෝහල් ගතවීමේදී ලැබෙන මුදල රුපියල් 1,000කි. දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර සඳහා දින 90ක උපරිමයට යටත්ව රුපියල් 2,000ක දීමනාවක් පිරිනැමේ.

    සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය සේවා, පළාත් සභා හා පලාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් යන මහත්ම මහත්මීහූ ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News