ට්‍රම්ප්ගේ නීතීඥ ජියුලියානිටත් කො‍රෝනා

දෙසැ 07, 2020

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පුද්ගලික නීතීඥ රූඩ් ජියුලියානිට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. මේ බව ප්‍රකාශ කරමින්, ජනාධිපති ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් ඊයේ නිකුත් කර තිබිණ.

    වසර අවුරුදු 76ක් වන නීතීඥවරයා නිව්යෝර්ක් ප්‍රාන්තයේ හිටපු කීර්තිමත් නගරාධිපතිවරයෙක්. අමෙරිකාව තුළ මේ වන විට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එක් කෝටි පනස් දෙලක්ෂයකට ආසන්නයි.

    ඊයේ දිනයේ දී පමණක් එරටින් එක් ලක්ෂ හැත්තෑතුන් දහසකට වැඩි නව ආසාදිතයන් පිරිසක් වාර්තා විය. වෛරසයෙන් අමෙරිකාවේ මියගිය පිරිස දෙලක්ෂ අසූ අට දහසක්.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනූව අමෙරිකාවට පසු වැඩිම ආසාදිතයන් පිරිසක් ඉන්දියාව,බ්‍රසීලය හා රුසියාවෙන් වාර්තා වී තිබේ. එම රටවල දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 30,000 ඉක්මවා ඇති බව මාධ්‍ය වාර්තාවල සඳහන්.

    ඉන්දියාවේ මේ වන විට 96 ලක්ෂ 76,000කට වැඩි ආසාදිතයන් පිරිසක් වාර්තා වෙයි. බ්‍රසීලය හා රුසියාවේ 24 ලක්ෂය ඉක්මවූ ආසාදිතයන් පිරිසක් වාර්තා වී තිබේ.

    ගෝලීය වශයෙන් මේ වන විට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 6 කෝටි 73 ලක්ෂය ඉක්මවා ඇති අතර, වෛරසය හේතුවෙන් මේ වන විට මියගිය සමස්ත පිරිස 15 ලක්ෂ 41000කට අධිකයි.

    Last modified on සදුදා, 07 දෙසැම්බර් 2020 11:07

    Latest News