රජරට ටයිල්ස් සමාගමෙන් අඩු මිලට රටටම උළු

නොවැ 26, 2020

    රජරට ටයිල්ස් සමාගම අඩු මුදලට හිගයකින් තොරව මුලු රටටම අවශ්‍ය උළු ලබා දීමට එකගත්වය පළ කර තිබේ.

    පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් 2021 වර්ෂයේ සිට පාසැල් හා පෙරපාසැල් ගොඩනැගිලිවල වහළ සඳහා ඇස්බැස්ටස් තහඩු යොදා ගැනීම තහනම් කිරීමට ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවි තිබේ.

    ඒ අනුව ඇස්බැස්ටස් තහනම් කිරීමෙන් පසුව වහළවල්වලට යොදා ගන්නා විකල්පයක් වශයෙන් උළු ජනප්‍රිය කරවීමට කටයුතු කිරීමටත්, අවම මිලකට උළු ලබා දීම සඳහා නිෂ්පාදකයින් පෙළඹවීම සඳහාත් මෙම දිනවල පරිසර අමාත්‍යවරයා විසින් විවිධ අංශ සමග සාකච්ඡා කරමින් සිටී.

    ඒ අනුව උළු කර්මාන්තකරුවන් සමග සිදු කළ සාකච්ඡා මේ වනවිට සාර්ථකව තිබේ.

    ඊට සමගාමීව මෙරට ප්‍රමුඛ දේශීය කර්මාන්තායතනයක් වන DSI සමුහ ව්‍යාපාරයට අනුබද්ධ රජරට ටයිල්ස් සමගාමේ නිලධාරින් සමග අමාත්‍යවරයා ඊයේ (25) සාකච්ඡා කළේය.

    ඇස්බැස්ටස් තහනම අදියර කිහිපයකින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    ඒ අනූව පළමු පියවර වශයෙන් 2021 වසරේ සිට පාසැල් පද්ධතියේ හා පෙරපාසැල්වල ඉදි කෙරෙන අලුත් ගොඩනැගිලි සඳහා ඇස්බැස්ටස් යොදා ගැනීම තහනම් කෙරේ.

    එම තහනමත් සමග කිසිසේත්ම උළු වල මිල ගණන් ඉහළ දැමිමට ඉඩ නොදෙන බව ප්‍රකාශකළ අමාත්‍යවරයා උළු වල මිල අඩු කිරීමට කටයුතු කරන ලෙසත් හිගයකින් තොරව උඵ සැපයීමට ඇති හැකියාව සම්බන්ධයෙනුත් විමසීමක් කළේය.

    ඒ අනුව රටටම අවශ්‍ය උළු කිසිදු හිගයකින් තොරව ලබා දීමටත්, ඒවා අවම මිලක් යටතේ ලබා දීමට කටයුතු කරන බවත් රජරට ටයිල්ස් සමාගමේ කළමනාකාරිත්වය අමාත්‍යවරයාට ප්‍රතිඥා දුන්නේය.

    විශේෂයෙන් ඇස්බැස්ටස්වල අඩංගු රසායනික ද්‍රව්‍ය නිසා පිළිකා රෝගය වැළඳීමේ අවදානමක් පවතින අතර දැනට රටවල් 52ක් පමණ ඇස්බැස්ටස් භාවිතය තහනම් කර තිබෙන බවත් අමාත්යවවරයා සඳහන් කළේය.

    අපගේ දරු පරපුර පිලිකාවෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ගන්නා එක් පියවරක් වශයෙන් රජය ඊට අනුමැතිය ලබා දී ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 26 නොවැම්බර් 2020 16:37

    Latest News