බැසිල් රාජපක්ෂයේ විදෙස් ගමන් තහනම ඉවතට

නොවැ 23, 2020

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා නියෝග කළේය.

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, 2015 වසරේ ජනාධිපතිවරණය පැවති සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2992 ක මුදලක් වැය කර නිවාස ආධාර ලබා දීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කොට පවරා තිබෙන නඩුවේ විත්තිකරුවකේ ලෙස නම් කර තිබිණ.

    මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේ දී බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා ජනාධිපතිවරයා විසින් පත් කර තිබෙන ආර්ථික කාර්ය සාධන කමිටුවක ප්‍රධානත්වය දරමින් කටයුතු කර හෙයින් ඔහුට රාජකාරිමය කටයුතු සඳහා විදේශගත වීමට අවශ්‍ය වී තිබෙන බව දැනුම් දුන්නේය.

    ඒ බව තහවුරු කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද ලිපියක් ද ජනාධිපති නීතිඥ මාරපන මහතා අධිකරණයට බාර දුන්නේය.

    එමෙන්ම මෙම නඩුවේ ඇප ලබා දුන් අවස්ථාවේදී සෑම මාස තුනකට වරක්ම පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට වාර්තා කළ යුතු බවට අධිකරණය මගින් ඇප කොන්දේසියක් පැනවූ බවත් එම ඇප කොන්දේසිය විත්තිකරු විසින් මේ දක්වා කඩ කර නොමැති හෙයින් එය ද ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි ජනාධිපති නීතිඥ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

    එම ඉල්ලීම් වලට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා විරුද්ධ වූයේ ‍නැත.

    ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය ආගමන විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසත් නියෝග කළේය.

    කෙසේ වෙතත් විදේශගත වන්නේ නම් ඊට පෙර අධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසද විනිසුරුවරයා විසින් විත්තිකාර බැසිල් රාජපක්ෂ මහතාට නියෝග කළේය.

    එමෙන් ම සෑම මාස තුනකට වරක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට වාර්තා කළ යුතු බවට පණවා තිබූ ඇප කොන්දේසිය ද ඉවත් කිරීමට මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කළේය.

    මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මහතාට අමතරව එහි සෙසු විත්තිකරුවන් ලෙස නම් කර සිටින ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක, එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි යන මහත්වරු ද අධිකරණයේ පෙනී සිටියා.

    එහිදී බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ ලිඛිත දේශන ගොනු කරමින් තම සේවාදායකයින්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති හෙයින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්තිය යටතේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව ඔවුන් නිදොස් කොට නිදහස් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

    ඒ බව සඳහන් කරමින් එම නීතිඥවරුන් විසින් අධිකරණය හමුවේ ලිඛිත දේශන ද ගොනු කරනු ලැබීය.

    අනතුරුව නඩුව මේ මස 25 වැනිදා කැඳවීමට නියමිත අතර එදින නීතිපතිවරයාගේ ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, 2015 වසරේ ජනාධිපතිවරණය පැවති සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2992 ක මුදලක් වැය කර නිවාස ආධාර ලබා දීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කොට පවරා තිබෙන නඩුවේ විත්තිකරුවකේ ලෙස නම් කර සිටියේය.

    Latest News