ඊයේ ආසාදිතයින් 327ක්

නොවැ 19, 2020

    මෙරටින් කොවිඩ්-19 රෝගය වැළඳුනු තවත් 327 දෙනෙක් ඊයේ හඳුනාගනු ලැබීය. 

    ඉන් 325 දෙනෙක් පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූ රෝගීන්.  අනෙක් දෙදෙනා විදේශයන්හි සිට පැමිණි මුහුදු ආරක්ෂකයින්. මෙරට සිදුවූ තවත් කොවිඩ් - 19 මරණ 3ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු ක‍ළේය.  ඒ අනූව,  මෙරට කොවිඩ්-19 හේතුවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 69ක් දක්වා ඉහළ ‍ගියේය. 

    කඳාන ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 70ක පුද්ගලයෙක් නිවසේ දී මියගොස් තිබේ.  මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ,කොවිඩ්-19 රෝගය සමග ඇතිවූ දියවැඩියා රෝගයේ සංකූලතායි.

    කොවිඩ්-19 රෝගියෙක් ලෙස හඳුනාගත් කොළඹ-12 ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් තිබේ.  74 හැවිරිදි ඇගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ,අධික රුධිර පීඩනය, දියවැඩියාව හා කොවිඩ්-19 රෝගය නිසා සිදුවූ පෙණහළු දුර්වල වීමයි.

    කොළඹ-13 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48ක පුද්ගලයෙක් නිවසේ දී මියගොස් තිබේ.  දියවැඩියා රෝගයේ සංකූලතා කොවිඩ්-19 රෝගය සමග උත්සන්න වීම ඔහුගේ මරණයට හේතු ලෙස දැක්වෙයි. 

    ..................................

    නව ආසාදිතයින් 90ක් (7.30 am)

    ඊයේ සවස කොවිඩ් ආසාදිතයින් 90 දෙනෙක් හඳුනාගෙන තිබේ.  ඔවුන් සියලුදෙනාම පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් බවයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

    ඒ අනූව මේ දක්වා දිවුලපිටිය හා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් ආශ්‍රිතයින් 14,801ක් වාර්තා වී තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 19 නොවැම්බර් 2020 11:53

    Latest News