ශ‍්‍රී ලංකා - පිලිපීනය ආර්ථික කවුන්සිලයක්

ජන 16, 2019

    ශ‍්‍රී ලංකාව සහ පිලිපීනය අතර ආර්ථික සහ වෙළෙඳ සබඳතා නව ක්ෂේත‍්‍ර ඔස්සේ යළි පණ ගැන්වීම සඳහා ආර්ථික කවුන්සිලයක් පිහිටුවිමට රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු වෙයි.

    පිලිපීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සහ පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩියුටර්ට් මහතා අතර නිල හමුව අද (16) පස්වරුවේ සිදුකෙරිණ. පිලීපීන ජනාධිපති මන්දිරය වන මලකන්යන්ග් පැලස් වෙත අද පස්වරුවේ ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩියුටර්ට් මැතිතුමා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය. හමුදා උත්තමාචාර පිළිගැන්විණ.

    රාජ්‍ය නායක දෙපළ අතර සුහද කතා බහකින් අනතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භවී තිබේ. ශ‍්‍රී ලංකාව සහ පිලිපීනය අතර 58 වසරක රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා තුළ ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයෙකුට පිලීපීන රාජ්‍ය සංචාරයක් සඳහා ආරාධනා හිමි වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙම සංචාරයට එක් වෙයි. තමා වෙත සිදුකළ මෙම ගෞරවණිය ආරාධනය පිළිබඳ ජනාධිපතිතුමා පිලිපීන ජනාධිපතිතුමා වෙත සිය ස්තූතිය පිරිනැමීය. පිලිපීන ජනාධිපති කියා සිටියේ දෙරට අතර රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතාවල ඓතිහාසික අවස්ථාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මෙම සංචාරයත් සමග සනිටුහන් වනු ඇති බවයි. 

    දෙරටටම ප‍්‍රතිලාභ ලැබෙන අයුරින් සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී නායකයන් පුළුල් ලෙස සාකච්ඡා කළ අතර එම කටයුතු ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා පිලිපීන තානාපති කාර්යාලයක් කොළඹ නගරයේ ස්ථාපිත කිරීමට ද අවධානය යොමු විය. දෙරට අතර ආර්ථික සහ වෙළෙඳ කටයුතු ඉහළ නංවා ගැනීම වෙනුවෙන් ආර්ථික කවුන්සිලයක් පිහිටුවා ගැනීම පිළිබඳව ද රාජ්‍ය නායකයෝ සාකච්ඡා කළහ.  එමෙන්ම දෙරට අතර කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ සහයෝගිතාවය ඉහළ නංවා ගැනීමට විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර, කෘෂිකාර්මික තාක්ෂණික පුහුණු කටයුතුවලදී ශ‍්‍රී ලංකාවට අවශ්‍ය සහය ලබාදීමට සූදානම් බව පිලිපීන ජනාධිපතිවරයා සඳහන් කළේය.

    අධ්‍යාපන සහ සංචාරක ක්ෂේත‍්‍රයේ සබඳතා ඉහළ නංවා ගැනීමේ වැදගත්කමත්, ආපදා කළමණාකරණ කටයුතුවලදී ද සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳවත් සාකච්ඡා කෙරිණි.

    දෙරට අතර ගුවන්ගමන් සේවා වැඩිදියුණු කර ගැනීම පිළිබඳව ද රාජ්‍ය නායකයන්ගේ වධානය යොමු වූ අතර ඒ පිළිබඳ සොයා බැලීමට ලබන මාර්තු මාසයේ දී පිලිපීන නියෝජිත කණ්ඩායමක් ශ‍්‍රී ලංකාවට එවන බව පිලිපීන ජනාධිපතිතුමා සඳහන් කළේය. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සඳහන් කළේ තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ශ‍්‍රී ලංකාව කැපවි සිටින බවත්, ඒ සඳහා පුළුල් වැඩපිළිවෙළක් මේ වන විට කි‍්‍රයාවට නංවා ඇති අතර එහි දී දෙරටට සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව පවතින බවයි. එමෙන් ම මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ මැඩලීම වෙනුවෙන් කැපවීමේ වැදගත්කම නායකයන්ගේ සාකච්ඡාවට බඳුන් වූ අතර, මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව පිලීපන ජනාධිපති රොඞ්රිගෝ ඩියුටර්ට් මැතිතුමාගේ කැපවීම අගය කළ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඒ පිළිබඳ ජාත්‍යන්තරයේම අවධානය යොමුව තිබෙන බව ද කියා සිටියේය.

    කලාපයේ මත්ද්‍රව්‍ය හුවමාරුව නැවතීමට පිලිපීන ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ ද අගය කළ ජනාධිපතිතුමා මිනිස් ජාවාරම මැඩලීම සහ කලාපයේ ආරක්ෂක කටයුතුවලදී සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේ ය.

    කලාපයේ රටවල් ලෙස එල්ල වී ඇති සියලූ අභියෝග ජය ගැනීමේ දී සාමුහිකව කටයුතු කිරීමේ වැදගත්ම පැහැදිළි කළ ජනාධිපතිතුමා මනා අවබෝධයකින් යුතුව ශ‍්‍රී ලංකා - පිලිපීන සබඳතා දෙරටේම යහපත වෙනුවෙන් ඉදිරියේදී වඩාත් ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය.

    ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ දෙරට අතර රාජ්‍යතාන්ති‍්‍රක සබඳතා ඇතිකර ගැනීමටත් පෙර පිලිපීනයේ ජාතික වීරයෙකු වු ආචාර්ය ජෝස් රිසල් මහතා 19 වැනි ශතවර්ෂයේ දී ශ‍්‍රී ලංකාවේ තෙවරක්ම සංචාරය කර තිබෙන බවත්, ඉන් දෙරට අතර අතීතයේ පටන් පැවති මිත‍්‍රත්වය මැනවින් පෙන්නුම් කරන බවත් ය.

    රාජ්‍ය නායක හමුවෙන් අනතුරුව දෙරට අතර නව අවබෝධතා ගිවිසුම් 05කට ද අත්සන් තැබිණි. ශ‍්‍රී ලංකාව සහ පිලපීනය අතර ආර්ථික, සංචාරක, කෘෂිකර්ම සහ අධ්‍යාපන සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළිබඳ අත්සන් තැබුණු මෙම නව අවබෝධතා ගිවිසුම් සඳහා ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සහ පිලිපීනයේ ශ‍්‍රී ලංකා තානාපති අරුණි රණරාජා මහත්මිය අත්සන් තැබුවාය.

    මේ අතර පිලිපීන ජාතික වීරයන්ගේ ස්මාරකය වෙත පුෂ්පෝහාර දැක්වීමට ද අද පෙරවරුවේ ජනාධිපතිතුමා එක් විය.

    Last modified on බ්‍රහස්පතින්දා, 17 ජනවාරි 2019 09:17

    Latest News