අවබෝධතා ගිවිසුම්වලට කැබිනට් අනුමැතිය

ජන 15, 2019

    ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර අවබෝධතා ගිවිසුම් 6ක් අත්සන් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවේ.

    දෙරට අතර ආරක්‍ෂක, සංග්‍රාමික, අධ්‍යාපන, මිත්‍ර සංචාර හා සම්මන්ත්‍රණ යන ක්‍ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කෙරේ. මෙය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ යෝජනාවකි.
    සංචාරක, අධ්‍යාපන හා පුහුණු, ආයෝජන යන අංශ සඳහා ගිවිසුම් අත්සන් කිරීමට නියමිතයි. යෝජනාව ඉදිරිපත් කරනු ලැබේ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විසිනි.
    දෙරට අතර කෘෂිකර්ම හා ඒ ආශ්‍රිත ක්‍ෂේත්‍ර ආවරණය වන පරිදි අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට යෝජිතයි. යෝජනාව අමාත්‍ය පී.හැරිසන් මහතාගෙනි.
    ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර විගමණික සේවකයන් පුහුණු කිරීම හා සහතිකකරණය සහ සේවක අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම සහ නීති ආධාර සැපයීම වැනි ක්‍ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කර ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය. මෙය අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාවකි.

    උතුරු හා නැගෙනහිර පළාත්වල කඩිනම් ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ. ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 2,000කි. කෘෂිකාර්මික, කාර්මික, ධීවර හා සේවා අංශ කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීමට නියමිතයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවිය.

    කඩුවෙල මාර්ගයේ බත්තරමුල්ල මංසන්ධියේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජිතයි. මෙය බත්තරමුල්ලේ ඉදිකිරීමට යෝජිත බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය හා ඒකාබද්ධ වන පරිදි ඉදි කෙරෙනු ඇත. නාගරික සංවර්ධන අධිකාරියට අයත් පර්චස් 415ක ඉඩමක් මීට තෝරා ගෙන තිබේ. පෞද්ගලික සමාගමක්, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. මෙය අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ යෝජනාවකි.

    කිලිනොච්චිය සහ වවුනියාව දිස්ත්‍රික් මහ රෝහල්වල හා පේදුරුතුඩුව සහ මාන්කුලම් යන මූලික රෝහල්වල සෞඛ්‍ය සායනික පහසුකම් වැඩි දියුණු කෙරේ. ඇස්තමේන්තුගත පිරිවැය යුරෝ මිලියන 54.45කි. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ මෙම යෝජනාවට ද කැබිනට් අනුමැතිය හිමිවිය.

    වකුගඩු රෝගීන් සඳහා ස්වයංක්‍රීය උදර තරල කාන්දු පෙරීමේ ක්‍රමවේදය භාවිතය නිවසේ සිටම ප්‍රතිකාර ලබාගත හැකි කාන්දු පෙරණ පද්ධතියක් හඳුන්වාදීමට පියවර ගැනේ. මෙය රෝගය ව්‍යාප්ත වී ඇති දිස්ත්‍රික්කවල නියමු ව්‍යාපෘතියක් ලෙස තෝරාගත් රෝගීන් 500ක් සඳහා ක්‍රියාත්මක කෙරෙනු ඇත.

    අම්බලන්ගොඩ, පොල්වත්ත ආයුර්වේද රෝහල සංවර්ධනය කෙරේ. එය, ව්‍යාපෘති 4ක් යටතේ ක්‍රියාත්මකයි. බේරුවල මූලික රෝහලේ මහල් 9කින් යුත් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

    එසේම රජයේ රෝහල් 20ක විද්‍යුත් රූප සංරක්‍ෂණ හා සන්නිවේදන පද්ධතියක් සහ විකිරණ තොරතුරු පද්ධතියක් ස්ථාපනයට ද නියමිතයි. මෙම යෝජනා, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙනි.

    Last modified on අඟහරුවාදා, 15 ජනවාරි 2019 19:12

    Latest News