සජිත්ගෙන් මුළ අමතක නොකිරිමේ පාඩමක් (විඩියෝ)

ජන 13, 2019
  • ස්වාධීන අධිකරණය, පොලිස් කොමිසම, රාජ්‍යසේවා කොමිසම, අල්ලස් කොමිසම මෙන්ම දේශපාලන ඇඟිලි ගැසීමෙන් තොර සාධාරණ සමාජයක් සහ යහපාලන රජයක් බිහිවූයේ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ නිර්මල දර්ශනය හා කැපවීම මත බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසයි.

    සෝභිත නාහිමියන්ට කළගුණ සැළකීමක් ලෙස තමන් මෙවර ජන්ම දිනය කැප කරන බව කී අමාත්‍යවරයා, මුළ අමතක නොකිරීමේ පාඩම අද තමන් සමාජයට හා රටට පෙන්වා දෙන බවත්, මුළ අමතක කිරීම තුළින් කිසිදු ගමනක් සාර්ථක නොවන බවත් ප්‍රකාශ කළේය.

    සෑම විටම විනයානුකූලව කටයුතු කරන්නැයි සෝභිත නාහිමියන් ඉගැන්වූ බවත්, බිම් මට්ටමේ සිට සිදුකරන සංවර්ධන කටයුතුවලදී පවා විනයානුකූලව කටයුතු කිරීමට සියලු දෙනා කැප විය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ සිය 52 ජන්ම දිනයට සමගාමීව හම්බන්තොට දිස්ත්‍රික්කයේ, ලුණුගම්වෙහෙර, කරඹවැව ප්‍රදේශයේ ඉදි කළ “ශ්‍රී සෝභිත නාහිමිගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (12) දින සහභාගී වෙමිණි. “සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 151 වන ආදර්ශ ගම්මානය මෙය වේ.

    මෙම උදා ගම්මානය නිවාස 20 කින් සමන්විත වන අතර මෙය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 216 කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙය සමන්විත වේ.

    “ශ්‍රී සෝභිත නාහිමිගම” ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 20 දෙනාට නිවාස හිමිකම් පත්‍ර හා රුපියල් ලක්ෂ 100 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 20 ක හිමිකම ලබාදීම, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 500 කට රුපියල් ලක්ෂ 500 ක් වටිනා ‘විසිරි නිවාස ණය’, පවුල් 200 කට රුපියල් ලක්ෂ 400 ක් වටිනා ‘සොඳුරු පියස නිවාස ණය’, දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 150 දෙනෙකුට නොමිලේ ඇස් කණ්නාඩි, ප්‍රාදේශීය කලාකරුවන් 6 දෙනෙකුට රුපියල් 60,000 ක් වටිනා වෛද්‍ය ආධාර, නිවාස සමිතිය සඳහා පුටු ලබාදීම සහ නිවාසලාභීන් සඳහා අඹ පැළ හා පොල් පැළ ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි. වකුගඩු වෛද්‍ය සායනයක් සහ දේශීය වෛද්‍ය සායනයක්ද මෙහිදී පැවැත්විය. ගම්මානයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 15 ක වියදමින් ඉදිකළ ජල පෙරහන් යන්ත්‍රය විවෘත කිරීමද මෙහිදී සිදු කෙරිණි.

    මෙම අවස්ථාවට හිටපු ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස, ජලනි ප්‍රේමදාස, රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු විහාල පිරිසක් සහභාගි වූහ.

    Last modified on ඉරිදා, 13 ජනවාරි 2019 12:37

    Latest News