දඹුල්ල ප්‍රදේශයේ ගොයමට අලුත් රෝගයක් (ඡායාරූප)

ජන 13, 2019

    මතලේ දිස්ත්‍රික්කයේ පිහිටි කුඹුරුවල වී වගාවේ හදුනා නොගත් රෝගයක් පැතිර යෑම හේතුවෙන් ගොවීහු දැඩි අසීරුතාවයකට පත්ව සිටිති. 

    වී වගාව ආරම්භ කොට මාස දෙකක් ගතවෙද්දී මෙම වී ගසේ පත්‍ර කහපැහැ ගැන්වී වී ගස වැඩීමකින් තොරව සිහින් වී පැවතීම මෙහි දක්නට ඇතැයි ගොවීහු පෙන්වා දේ. එකම කුඹුරු වල එක් කොටසක් වී ගසේ ප්‍රාණවත්ව නිරෝගීව පවතින බවත් අනෙක් කොටස අප්‍රාණිකව වර්ධනයකින් තොරව වී ගස කහ පැහැගැන්වී ඵල හට ගැනීමකින් තොරව පවති.

    කෘෂිකර්ම නිෂ්පාදන සහකාර නිලධාරීන් මෙන්ම කෘෂිකර්ම උපදේශකවරුන් ද කුඹුරු යාය පරික්ෂා කිරීමෙන් අනතුරුව කියාසිටියේ කිසිම දිනක මෙවැනි රෝගයක් තම රැකියාව කාලයේ හමු වී නොමැති බවයි. මේ වන විට කුඹුරු වල වී ගස වර්ධනය කර ගැනීම සඳහා රජය විසින් ලබා දුන් සහන පොහොර යොදවා ඊට අමතරව තවත් විශාල වශයෙන් පොහොර යෙදවූ බවත් විවිධ කෘමි නාශක සහ දියර පොහොර වර්ග ඉසීම සිදු කළ ද කිසිදු ආකාරයකින් ගොයම් ගස වර්ධනයක් සිදු නොවන බව ගොවීහු පෙන්වා දෙති.

    ගොයම් ගසෙහි මාස දෙකක කාලය යනු මේ වන විට හීන් බන්ඩි තිබිය යුතු බවත් එහෙත් මෙම කුඹුරු යායේ ඇතැම් ගස්වල හින් බන්ඩි දක්නට ඇතත් වර්ධනය නොවූ විශාල ප්‍රමාණයක හීන් බණ්ඩි හට නොගැනීම විශේෂත්වයක්වේ. එමෙන්ම මෙම බීජ ලබාගෙන ඇත්තේ රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් බව ද ඔවුහු පෙන්වා දෙති.

    දඹුල්ල පහලවැව වෙල්යාය පරික්ෂා කිරීමෙන් පසුව දඹුල්ල කෘෂිකර්ම උපදේශක රංජිත් අමයන්ත කියා සිටියේ තම වසර 8 ක සේවා කාලය තුළ මෙවැනි රෝගයක් දැක නොමැති බවයි. එම රෝග තත්ත්වය කුමක්ද යන්න එසේත් නොමැති නම් වෙනත් බලපෑමක් ද යන්න එක වැරම ප්‍රකාශ කිරීමට නොහැකි බවද ඔහු පවසයි. කෙසේ වෙතත් එම ශාක කොටස් සහ මුල් එමෙන්ම කුඹුරේ පස් ලබාගෙන බතලගොඩ පර්යේෂණ මධ්‍යස්ථානයට යැවීමට අවශ්‍ය පියවර ගන්නා බව ඔහු පවසයි.

    දඹුල්ල පහලවැව ගොවි සංවිධානයේ නියෝජිතයෙකු සී. සුනිල් ප්‍රේමරත්න මහතා තම වගාවට සිදු වූ හානිය පිළිබඳව මෙසේ සඳහන් කළේය - "අපි ගොවියො වුණාට අද ගොවියො අපට කියලා කුඹුරු නැහැ. අවුරුදු හතලිහක් විතර අද ගොවි තැන තමයි කරන්නේ. හැබැයි මේ වගේ දෙයක් අපිට කවදාවත් සිද්ධ වෙලා නෑ. සිංහල අලුත් අවුරුදු ඉස්සරහට එනවා අඩුම තරමේ කැඳ උගුරක් බොන්න මේ සැරේ නැතිවෙයි. කන්න ගණනාවක් නියගයට අහුවෙලා මේ කන්නේ තමයි අපි වගා කළේ සතුටින් ඒ සතුට ඔක්කොම ගොයම් ගහ එක්කම මැරිලා යනවා. මේ ගැන හොයලා බැලුවා අපි අද හරි හෙට හරියයි කියලා බැරිම තැන තමයි අපි කෘෂිකර්ම උපදේශක තුමාටත් අනිත් රජයේ නිලධාරීන්ට කිව්වේ ඇවිල්ල බලල මොකක්ද මේ වෙලා තියෙන්නෙ කියලා හොයලා දෙන්න කියලා. ණය වෙලා ණය වෙලා බෙහෙත් ගහලා බැලුවා හරියන්නෑ අවසානයේදී කුඹුරු වලට මොන හෙනයක් ගහලද කියලා හිතාගන්නවත් බෑ."

    වී .ජී . දයාරත්න මහතා - "දැන් අපේ කුඹුරු යායෙන් බාගයක්ම විනාශ වෙලා තියෙන්නේ මාස දෙකක ගොයමට දැන් ආයේ මොනව ගැහුවත් ගොඩ ගන්න බෑ මොකද ගහ හැදෙන කාලය දැන් අවසන් දැන් පල දරන කාලය තමයි පවතින්නේ. ඒ නිසා ඵල හට නොගත් ගොයම් ගස් වල ආපහු වී කරල් ඒවි කියලා හිතන්න බැහැ. හැබැයි අපි කවදාවත් මේ වගේ දෙයක් දැකලා නෑ පොහොර මිල ලබාගැනීමේදී රක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. අපි රජයෙන් ඉල්ලා සිටිනවා මේ ගොවීන්ට අඩුම තරමේ සිංහල අවුරුද්ද කැඳ උගුරක් හරි බොන්නේ රක්ෂණ මුදල වත් ලබා දෙන්න කියලා."

    මෙහි දී ගොවීන් රැසක්ම අදහස් දක්වමින් කියා සිටියේ මේ පිළිබඳව කඩිනමින් අවධානය යොමු කොට අනෙකුත් වී වගාවන් බේරා ගැනීමට හෝ මෙය රට පුරා ව්‍යාප්ත වෙන එකක්ද යන්න සොයා බලා කඩිනම් පිළියම් යොදන ලෙස යි.

    vi wagawa 01

    vi wagawa 03

    Latest News