මහජන සේවයේ සහ සංවර්ධනයේදී ආණ්ඩුකාරවරුන්ගේ වගකීම ජනපතිගෙන්

ජන 11, 2019

    මහජන සේවාවන් විධිමත් සහ කාර්යක්ෂම කරමින් අපේක්ෂිත සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා සියලු නව ආණ්ඩුකාරවරුන් ඝෘජු මැදිහත්වීම් ලබාදෙමින් වගකීම් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් ඇතුළු නිලධාරින් සමග අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ය. දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක සංවර්ධන වැඩපිළිවෙළ මෙන්ම ජනාධිපති කාර්යාලය මගින් ක්‍රියාවට නංවා ඇති විශේෂ ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බදුන් විය.

    පොදු ජනතාව ආර්ථික සහ සමාජමය වශයෙන් නගා සිටුවමින් සමෘද්ධිමත් සහ යහපත් පුරවැසියෙකු බිහි කිරීමේ අරමුණ ඇතිව විශේෂ ව්‍යාපෘති රැසක් ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් මේ වන විට ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක කෙරේ.

    රටේ තරුණ පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් නිදහස් කර ගැනීමේ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන සහ පොදු මහජනතාව දූගී බවින් නිදහස් කර ගැනීමේ ග්‍රාමශක්ති ජාතික වැඩසටහන ඒ අතරින් ප්‍රමුඛ වෙයි. රටේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දරුවන් සුරකිමු ජාතික වැඩසටහනත්, පරිසර සංරක්ෂණය වෙනුවෙන් පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන සහ දේශීය ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන මෙන්ම වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන මේ වන විට ජනාධිපති කාර්යාලයේ මෙහයවීමෙන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරේ.

    මෙම ජනවාරි 21 වනදා සිට 28 වනදා දක්වා සතිය මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතිය ලෙස ප්‍රකාශයට පත් කර මත්ද්‍රව්‍ය භාවිතයේ ආදිනව පිළිබඳ සමාජය දැනුවත් කිරීමට වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත. එහිදී පාසල් දරුවන්, රාජ්‍ය නිලධාරින් මෙන්ම පොදු ජනතාව ඉලක්ක කර ගනිමින් නිර්මාණාත්මක වැඩසටහන් සම්පාදනය පිළිබඳව මෙහිදී අදාළ නිලධාරින්ගේ අවධානය යොමු කළ ජනාධිපතිතුමා ඒ පිළිබඳ සිය පෞද්ගලික අවධානය යොමු කරමින් දායකත්වය ලබාදෙන ලෙස ආණ්ඩුකාරවරුවන්, පළාත් ප්‍රධාන ලේකම්වරු ඇතුළු නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේ ය.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ තමා සෞඛ්‍ය අමාත්‍යවරයාව කටයුතු කරන අවදියේ සිටම මත්ද්‍රව්‍යවලට එරෙහිව ගෙන ගිය සටන හේතුවෙන් අද මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ ලෝකයේ සෙසු රටවලට වඩා අපේ රටේ නීති රීති දැඩිව පවතින බවත්, එම නීති රීති තවදුරටත් ශක්තිමත් කරමින් මත්ද්‍රව්‍ය අභියෝගය ජය ගැනීමට තම ධූර කාලය තුළ ගතහැකි සෑම පියවරක්ම ගන්නා බවත්ය.

    උතුරු නැගෙනහිර පළාත්වල මත්ද්‍රව්‍ය මර්දනය වෙනුවෙන් රජය විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබෙන අතර, එහි ප්‍රගතිය ද මෙහිදී සමාලෝචනයට ලක් කෙරිණි.

    මෙම පෙබරවාරි 18 වනදා සිට 23 වන දින දක්වා සතිය ග්‍රාමශක්ති ජාතික සතිය ලෙස ප්‍රකාශයට පත් කරමින් ග්‍රාමශක්ති වැඩසටහන ගම් 4000 ක් දක්වා ව්‍යාප්ත කිරීමේ ඉලක්කය සහිතව වැඩසටහන් රැසක් සම්පාදනය කර තිබේ. එම වැඩසටහන පිළිබඳව ද මෙහිදී ආණ්ඩුකාරවරුන් දැනුවත් කරනු ලැබීය.

    Last modified on සෙනසුරාදා, 12 ජනවාරි 2019 15:10

    Latest News