සිසුන් මත්ද්‍රව්‍ය වලින් බේරා ගැනීමට අකිල අතගසයි

ජන 11, 2019

    මත්ද්‍රව්‍ය නිවාරණය දරුවන්ගෙන් ඉගෙනගනිමු තේමාවෙන් මත්ද්‍රව්‍ය නිවාරණය ගැන පාසල් දරුවන්, මව්පියන් ඇතුළු පාසල් ප්‍රජාවේ දැනුම සහ අවධානය ඉලක්ක වු වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

     ඒ අනුව ජනවාරි මස 21 සිට 25 වනදා දක්වා පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ලෙස නම් කර ඇති අතර ඒ සඳහා ජනාධිපති කාර්යාලය සහ අනෙකුත් රාජ්‍ය ආයතන සමග ඒකාබද්ධ වැඩපිළිවෙළක් පාසල් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මේ සම්බන්ධව අධ්‍යාපන බලධාරීන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමට අවශ්‍ය උපදෙස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඔවුන් වෙත යොමු කර ඇත.

    මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ලෙස නම් කර මෙම වැඩසටහන ක්‍රියාත්මක කළත් මත්ද්‍රව්‍ය නිවාරණය අපගේ ජීවන පුරුද්දක් විය යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි. බරපතල සමාජ ව්‍යසනයක් බවට පත්වී ඇති මත්ද්‍රව්‍ය උවදුරේ ගොදුරු බවට නව යොවුන් වියේ දරුවන් ලක්වන බව ඔහු පෙන්වා දෙයි. තමන් ජීවත්වන නිවස සහ අවට සමාජ වටපිටාව විශාල වශයෙන් හේතු වන බැවින් නිවස මත්ද්‍රව්‍ය වලින් තොර, සුරක්ෂිත ස්ථානයක් බවට පත්කිරීමට මව්පියන්ට විශාල වගකීමක් ඇති බව අමාත්‍ය අකිල විරාජ් අවධාරණය කරයි.

    වත්මන් සිසු පරපුර හා තරුණ ජනගහනය රටේ ඉදිරි ආර්ථික හා සමාජ සංවර්ධනයේ නියමුවන් වන අතර ඔවුන් මත්ද්‍රව්‍යවල ගොදුරු බවට පත්වීමෙන් රටේ අනාගතයට බරපතල තර්ජනයක් එල්ලවේ. එ අනුව සමාජයක් ලෙස මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් සක්‍රීයව ක්‍රියාත්මක විය යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණ කර සිටි.

    Latest News