පොලිසියෙන් අල්ලස් ගත් සී. අයි.ට ඇප නෑ

ජන 11, 2019

    පොලිස් පරීක්ෂකයෙකු ගෙන් අල්ලස් ගත් ප්‍රධාන පොලිස් පරීක්ෂකගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වේ.

    පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ පොලිස් පරීක්ෂකවරයෙකුගෙන් රු. 50,000ක මුදලක් අල්ලසක් ලෙස ලබාගත් එම බලකායේ ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහු වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ලබන 25වනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළාය.

    වැඩ තහනම් කළ පොලිස් නිලධාරියකුගේ අභියාචනයක් නිර්දේශ කිරිම සඳහා රුපියල් 150,000ක අල්ලස් මුදලක් ඉල්ලා එයින් රු 50,000ක් ලබා ගැනීමේදී පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේ දී සැකපිට සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

    පැමිණිලිකරු වන වැඩ තහනමට ලක් වූ පොලිස් නිලධාරියා සහ විත්තිකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා එකට රාජකාරි කළ නිලධාරීන් වේ. පැමිණිලිකාර නිලධාරියා විත්තිකරුගෙන් රුපියල් ලක්ෂ 15ක මුදලක් අවස්ථා දෙකකදී ලබා ගෙන ඇති බවත් අධිකරණයට කරුණු දැක්වූ සැකකරු වෙනුවෙන් පෙනි සිටි නිතිඥ මහතා ඔහුට ලබා දීමට තිබු මුදලින් කොටසක් ආපසු ලබා ගැනීමේදී මේ සිද්ධියට හසු කර ඇති බවත් කියා සිටියේය.

    ලබාගත් මුදල නොගෙවා පැහැර හැරීම සඳහා පොලිස් පරීක්ෂකවරයා ව්‍යාජ පැමිණිල්ල මගින් සූක්ෂම ලෙස කටයුතු කර තම සේවාදායකයාට විරුද්ධව කටයුතු කර ඇති බැවින් විත්තිකරුට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

    වැඩතහනමට ලක්ව සිටි පොලිස් පරීක්ෂකවරයාගේ පැමිණිල්ලක් මත අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විසින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.

    විමර්ශන තවමත් අවසන් නැති නිසා ඔහුට ඇප ලබාදීමට කොමිෂන් සභාවේ නිලධාරීන් විරුද්ධවූ අතර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

    Latest News