වෙනස්කම් සහිතව මංතීරු නීතිය අද සිට දැඩිව

සැප් 21, 2020

    මංතීරු නීතිය අද සිට දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලීසිය තීරණය කර තිබේ.

    පසුගිය සතියේ පැවති පෙරහුරුවෙන් ලබාගත් දත්ත පදනම් කරමින් රථ වාහන සඳහා උපදෙස් නිකුත් කර ඇත.

    කොළඹ නගරයට පැමිණෙන රථවාහනවල අධික තදබදයට විසඳුමක් ලෙස මෙය ක්‍රියාත්මක කර තිබේ. ඒ හයිලෙවල් මාර්ගය, නුවර පාර, ගාලු පාර සහ ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය යන මාර්ගවල උදෑසන 6 සිට උදෑසන 9 දක්වාත් පස්වරු 4 සිට රාත්‍රි 8 දක්වාත් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

    මංතීරු 3ක් සහිත මාර්ගවල බස්රථ සඳහා පළමු මංතීරුව පමණක් වෙන්කර තිබේ. ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සඳහා පළමු මංතීරුව පමණක් භාවිත කිරීමේ ක්‍රමවේදය වෙනුවට එම වාහන කාණ්ඩ දෙක සඳහා පළමු සහ දෙවන මංතීරු ද්විත්වයම භාවිත කළ හැකි ලෙස සංශෝධනය කර තිබේ. සෙසු වාහන සඳහා දෙවන සහ තෙවන මංතීරු ද්විත්වයම භාවිත කළ හැකියි. ඒ අනුව දෙවන මංතීරුවේ බස්රථ හැර අනෙක් සියලු වාහන ගමන් කළ හැක. එමෙන්ම මංතීරු 4ක් ඇති මාර්ගවල සිව්වැනි මංතීරුව සෙසු වාහන සඳහා පමණක් වෙන් කර තිබේ.

    පොලිස් ජංගම නිරීක්ෂණ රථ මෙන්ම CCTV අංශය ද නීති කඩකරන්නන් කොටු කර ගැනීමට යොද ගැනෙන බව පොලිසිය සඳහන් කරයි. මේ සතිය තුළ මංතීරු නීතිය කඩ කරන වාහන සඳහා දඩ මුදලක් අය නොකෙරෙන අතර ඒ වෙනුවට එම රියදුරන් නීති උපදේශනයකට සහභාගී විය යුතු වේ.

    Latest News