ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි අල්ලස් නඩුවක් කැඳවීමට දින නියම වෙයි

අගෝ 21, 2020

    වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ස.තො.ස ආයතනයේ සේවකයින් එකසිය පනස් තුන් දෙනෙකු ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම් වල යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි හතරක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව විභාගයට ගන්නා දිනය නියම කිරීම සඳහා සැප්තැම්බර් මස 11 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

    මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ මෙම නඩුව සැප්තැම්බර් මස 11 වන දා යළි කැඳවන ලෙසයි.

    එදින නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කරන දිනය නියම කරන බවද මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළා.

    2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් ස.තො.ස ආයතනයේ සේවකයින් එකසිය පනස් තුන් දෙනෙක් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම් සඳහා යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි හතරක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට ඉකුත් යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම විසින් එවක වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ,සහ.තො.ස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ තවත් පුද්ගලයෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණා.

    Latest News