හෝමාගම ප්‍රාදේශීයසභා සභාපතිවරයාගේ ධුරය අත්හිටුවන්නැයි පෙත්සමක්

අගෝ 21, 2020

    හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චමින්ද ජයසිංහ මහතාගේ ධුරය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද පෙත්සමක් විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබෙනවා.

    හෝමාගම බදු ගෙවන්නන්ගේ සංගමයේ සභාපති ගමගේ විජේරත්න මහතා විසින් ගොනු කර ලද පෙත්සමක් සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විසින් එම නොතීසි නිකුත් කිරීම සිදුකළා.

    ඒ අනුව ඔක්තෝබර් මස 06 වන දා මෙම පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක, හෝමාගම ප්‍රාදේශීය සභාව, එම ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චමින්ද ජයසිංහ, එම ප්‍රාදේශිය සභාවේ ලේකම්, බස්නාහිර පළාතේ පළාත් පාලන කොමසාරිස් සහ පළාත් පාලන සහකාර කොමසාරිස් යන අය වෙත නොතීසි නිකුත් කරන ලෙසද නියෝග කළා.

    පෙත්සම්කරු කියා සිටින්නේ 2019 වසරේ හෝමාගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පදිංචි අඩු ආදායම් ලාභීන් අතර බෙදාදීම සඳහා වගඋත්තරකාර හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සෙවිලි තහඩු 1040 ක් මිලදී ගෙන ඇති බවයි.

    එම සෙවිලි තහඩු මිලදී ගැනීමේදී එක් තහඩුවකින් රුපියල් 380/- ක වංචාවක් සිදුකර ඇති බවද පෙත්සමේ සඳහන් වෙනවා.

    මෙම මිලදීගැනීමේ ක්‍රියාවලිය තුළ අවිධිමත්භාවයක් පෙන්නුම් කරන බව වගඋත්තරකාර පළාත් පාලන සහකාර කොමසාරිස් විසින් සිදුකළ විමර්ශණයකින් ද කරුණු අනාවරණය වී ඇතැයි ද පෙත්සම්කරු අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

    ඒ අනුව මෙම තත්ත්වය බස්නාහිර පළාත් සභාවේ 1991 අංක 4 දරන පළාත් පාලන ආයතනවල පරිපාලනය අධීක්ෂණය කිරීමේ බලය පිළිබඳ ප්‍රඥප්තියේ 2(1) වගන්තිය යටතේ වරදක් වන අතර වැනි වරදක් සිදු කරන පළාත් පාලන ආයතන ප්‍රධානියෙකුට එරෙහිව පරීක්ෂණයක් පවත්වා ඔහු ධුරයෙන් ඉවත් කිරීමට හෝ අදාළ පළාත් පාලන ආයතන විසුරුවා හැරීමට අදාළ පළාත් සභාවේ පළාත් පාලන විෂයභාර අමාත්‍යවරයාට බලය පැවරෙන බව ද පෙත්සම්කරු පෙන්වා දෙනවා.

    ඒ අනුව හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ මෙම අකාර්යක්ෂම හා අයථා පාලනය පිළිබඳව විශ්‍රාමික අධිකරණ නිලධාරීයෙකු පත්කර විමර්ශනයක් පවත්වන ලෙස පළාත් ආණ්ඩුකාර වරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පරීක්ෂණ වාර්තා පදනම් කරගෙන වගඋත්තරකාර සභාපතිවරයා එම තනතුරෙන් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු මහාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

    Last modified on සිකුරාදා, 21 අගෝස්තු 2020 17:10

    Latest News