රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසකට මන්ත්‍රී ධුර අහිමි වෙයි

අගෝ 07, 2020

    කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කළ එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, උපනායක රවී කරුණානායක, භාණ්ඩාගාරික දයා ගමගේ යන මහත්වරුන්ට මෙවර සිය මන්ත්‍රී ධූර අහිමිවිය.

    සමගි ජනබලවේගය යටතේ තරග කළ ඒ.එච්.එම්.ෆවුසි, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, සූජීව සේනසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කළ තිලංග සුමතිපාල යන මහත්ම, මහත්මීන්ට සිය මන්ත්‍රී ධූරයන් අහිමිවිය.

    ගම්පහ දිස්ත්‍රික්කයෙන් පොදුජන පෙරමුණ යටතේ තරග කළ දුලිප් විජේසේකර, එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග කළ අර්ජුන රණතුංග, රුවන් විජේවර්ධන, සමගි ජනබලවේගය යටතේ තරග කළ එච්වඩ් ගුණසේකර, චතුර සේනාරත්න, අපිත් මාන්නප්පෙරුම සහ විජිත් විජේමුණි ද සොයිසා යන මහත්වරුන්ට ද මෙවර පාර්ලිමේන්තු වරම් හිමිවුයේ නැහැ.

    කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කළ එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මෙවර පරාජය වූ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කළ ටී.බී. ඒකනායක, තාරානාත් බස්නායක, එස්.බී.නාවින්න යන මහත්වරුන් ද පරාජයට පත්වූහ. සමගි ජනබලවේගය යටතේ තරග කළ ඉන්දික බණ්ඩාරනායක මහතාට ද සිය මන්ත්‍රී ධූරය අහිමි වී තිබේ.

    ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රීවරුන් වන එක්සත් ජාතික පක්‍ෂය යටතේ තරග කළ වජිර අබේවර්ධන, සමගි ජනබලවේගය යටතේ තරග කළ විජයපාල හෙට්ටිආරච්චි, බන්දුලාල් බණ්ඩාරිගොඩ සහ පියසේන ගමගේ යන මහත්වරුන්ට මෙවර සිය මන්ත්‍රී ධූරය අහිමි වී තිබේ.

    නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කළ එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක, කේ.කේ. පියදාස, සමගි ජනබලවේගය යටතේ තරග කළ මයිල් වාහනම් තිලකරාජ් යන මහත්වරුන්ට ද මෙවර සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමිවී තිබේ.

    වසන්ත අලුවිහාරේ, රංජිත් අලුවිහාරේ, සමගි ජනබලවේගය යටතේ මාතලේ දිස්ත්‍රික්කයට තරග කළ අතර ඔවුන් ද පරාජයට පත්විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කළ ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා මහතා ද සිය මන්ත්‍රී ධූරය අහිමි විය.

    යාපනය දිස්ත්‍රික්කයෙන් හිටපු මන්ත්‍රීවරුන් වන ඉලංකෙයි තමිල් අරුසුකච්චි පක්‍ෂයේ නායක මාවේ සේනාධිරාජා, පී සරවනභවන් මෙන්ම එක්සත් ජාතික පක්‍ෂය යටතේ තරග කළ විජයකලා මහේෂ්වරන් යන මහත්ම මහත්මීන්ට ද මෙවර මහ මැතිවරණයෙන් සිය මන්ත්‍රී ධූර අහිමිවිය.

    Last modified on සිකුරාදා, 07 අගෝස්තු 2020 18:50

    Latest News