ඓතිහාසික මැතිවරණය අන්තර් ජාතික මාධ්‍ය සංවාදාත්මකව කරුණු දක්වයි

අගෝ 07, 2020

    ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ඓතිහාසික මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව අන්තර් ජාතික මාධ්‍ය ඉතා පුළුල් මට්ටමින් සංවාදාත්මකව කරුණු දක්වා තිබේ.

    ඇතැම් ගෝලීය මාධ්‍ය මේ ජයග්‍රහණය හඳුන්වන්නේ රාජපක්‍ෂ සුනාමියක් ලෙසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් කරා මෙහෙවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සමත්වී ඇති බව එම වාර්තාවල සඳහන්.

    ශ්‍රී ලංකාවේ නෙළුම් පොහොට්ටුවක් මගින් අලියෙකු තලා පොඩි කර දමා තිබේ. මේ ඉන්දියාවේ නිව්ස් එයිටීන් නමැති ප්‍රවෘත්ති වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ මැතිවරණය සම්බන්ධ පුවතට ලබා දී තිබූ සිරස්තලයයි. ඉන්දියාවේ සෑම ප්‍රධාන මාධ්‍ය ආයතනයක් පාහේ ශ්‍රී ලංකාවේ මහ මැතිවරණය පිලිබඳව ඉතා පුළුල් වාර්තා පළ කර තිබිණ.

    ද හින්දු, ටයිම්ස් ඔෆ් ඉන්දියා, හින්දුස්ථාන් ටයිම්ස්, එන්.ඩී.ටීවී, ටයිම්ස් ඔෆ් ඉන්දියා, හින්දුස්ථාන් ටයිම්ස්, එන්.ඩී.ටී.වී. ටයිම්ස් නව් වැනි මාධ්‍ය ජාල ඒ අතරින් මුල්තැනක් ගනී. එම වාර්තාවල සඳහන් පොදු කරුණ වන්නේ, ශ්‍රී ලංකාවේ ජනතාව ශක්තිමත් නායකත්වයක් හා ස්ථාවර රජයක් පිහිටුවීම සඳහා ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි.

    ඉන්දීය මාධ්‍යවලට අමතරව අන්තර් ජාතික වශයෙන් ප්‍රකට ගෝලීය නියෝජනයක් සහිත බී.බී.සී. සී.එන්.එන්. අල්ජසීරා, නිව්යෝර්ක් ටයිම්ස්, වොෂින්ටන් පෝස්ට්, පීපල්ස් ඩේලි, රෂියා ටුවේ වැනි වෙබ් අඩවි හා රූපවාහිනී ජාල මගින් ද ශ්‍රී ලංකාවේ මැතිවරණ ජයග්‍රහණය ඉහළින් වාර්තා කර තිබිණ.

    පසුගිය කාලයේ විශාල මතභේදයකට තුඩුදුන් වාර්තාවක් පළ කළ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ මාරියා අල් හබීබ් ද මෙරට මහ මැතිවරණය ගැන වාර්තාවක් පළ කර තිබිණ. පෙරට වඩා වෙනස් රටාවක් ගෙන තිබූ වාර්තාකරණය තුළදී හුවා දක්වා තිබූ වැදගත් කරුණක් වන්නේ, ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයන් රාජපක්‍ෂවරුන් උදාකර දී ඇති ස්ථාවරත්වය අනුමත කර ඇති අතර, සිවිල් නිදහස ගැන සංකල්ප ගෙනහැර දැක්වූ අවුල් සහගත පසුගිය ආණ්ඩුව ප්‍රතික්‍ෂේප කර ඇති බවයි.

    Latest News