බම්බලපිටිය සිට දෙහිවල ඇල මාර්ගය දක්වා විධිමත් නිවාස

ජූලි 30, 2020

    බම්බලපිටිය සිට දෙහිවල ඇල මාර්ගය දක්වා අවිධිමත් ජනාවාසවල පදිංචි පවුල් සදහා විධිමත් නිවාස ලබාදීමේ වැඩසටහනේ එක් පියවරක් අද ක්‍රියාත්මක කෙරිණ.

    ඒ යටතේ පවුල් 54ක් වෙනුවෙන් නව නිවාස හේනමුල්ල, “රන්මිතු සෙවණ“ නිවාස ව්‍යාපෘතියෙන් හිමිවිය. කොළඹ අවිධිමත් ජනාවාසවල ජීවත්වන පවුල්වලට පදිංචියට සුදුසු නිවාස ලබාදීම වැඩසටහනේ අරමුණයි.

    උත්සවය පැවැත්වුණේ, නාගරික සංවර්ධන ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ඉංජිනේරු ප්‍රියත් බන්දු වික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, සුහුරුපාය ශ්‍රවණාගාරයේදී. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය මගින් නිවාස ලබාදීමේ වැඩසටහන ක්‍රියාවට නැංවිණ.

    සීඑම්එල් එම්ටීඩී ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය සමඟ ක්‍රියාත්මක කරන ලද නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කෙරුණේ 2014දී. නිවාස ව්‍යාපෘතියේ වටිනාකම රුපියල් මිලියන 1,656ක්. තට්ටු 15කින් සමන්විත නිවාස ව්‍යාපෘතියේ එක් නිවසක්, කාමර දෙකක්, සාලය, නාන කාමරය සහ මුළුතැන් ගෙයකින් සමන්විතයි.

    මහල් නිවාස සංකීර්ණයේ එක් නිවසක් වර්ග අඩි 450කින් යුක්ත වන අතර, එක් නිවසක වටිනාකම රුපියල් ලක්‍ෂ 50ක් වේ. එම ස්ථානයේ පාසලක්, ක්‍රීඩාංගණයක්, ඉදිකිරීමට යෝජිත සතොස වෙළෙඳ සැලකින් ද නිවාස සංකීර්ණය සමන්විතයි. ඉදිකිරීම් අධීක්‍ෂණය කෙරෙනුයේ නාගරික සංවර්ධන අධිකාරියයි.

    Latest News