2012 වනවිට නීති විද්‍යාලයට මුස්ලිම් සිසුන් වැඩි වෙලා

ජූලි 30, 2020

    පෙර වර්ෂවලට සාපේක්‍ෂව 2012 වර්ෂය වනවිට ශ්‍රී ලංකා නීති විද්‍යාලයට මුස්ලිම් සිසුන් බඳවා ගැනීමේ අසාමාන්‍ය වර්ධනයක් රාජ්‍ය බුද්ධි සේවය නිරීක්ෂකණය කළ බව, එහි හිටපු අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා ජනාධිපති කොමිසම හමුවේ ඊයේ අනාවරණය කළේය.

    ඔහු වැඩිදුරටත් කියා සිටියේ ව්‍යාප්තවාදය සහ රටේ සුළුතර ජන කොට්ඨාසයක් බහුතරය සමඟ කරන අරගලයේ කොටසක් ලෙස සිදුවූ මෙය අධිකරණ අමාත්‍යාංයේ ගැටලුවක් බවයි.

    පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් කිරීමේ විදේශ බුද්ධි තොරතුර මුල්වරට ලද රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්‍ෂි ලබාදුන්නේ, තෙවන දිනටයි. එහිදී නිලන්ත ජයවර්ධන මහතා විසින් 2015 ජුලි මස 20 වන දින එවකට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ රථවාහන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටි නන්දන මුණසිංහ මහතාට යවන ලද බුද්ධි තොරතුරු ඇතුලත් ලේඛනයක් ජනාධිපති කොමිසම හමුවට ඉදිරිපත් කළේය.

    එහි දැක්වුණේ 2003 වසර වනවිට 2.4%ක්, එනම් සිසුන් 203න් 05 දෙනෙකු ලෙස පැවති ශ්‍රී ලංකා නීති විද්‍යාලයට මුස්ලිම් සිසුන් බඳවා ගැනීමේ සංයුතිය 2012 වනවිට අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවයි.

    ඒ අනුව 2003 වර්ෂය වනවිට 2.4%ක් ලෙස පැවති මුස්ලිම් සිසුන් බඳවා ගැනීම් ප්‍රතිශතය 2012 වර්ෂය වනවිට 25.24%ක් ලෙස අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව 2012 වර්ෂයේ දී මුස්ලිම් සිසුන් 78 දෙනෙකු ශ්‍රී ලංකා නීති විද්‍යාලයට බඳවා ගෙන ඇති බවත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්‍ෂවරයා අනාවරණය කළේය.

    රාජ්‍ය බුද්ධි සේවය විසින් නිරීක්‍ෂණය කළ මෙම තත්වයට හේතුව අධිකරණ අමාත්‍යාංශය තුළ පැවති ගැටලුවක් බවත්, ඒ සම්බන්ධයෙන් වගකිව යුතු අංශ වන ශ්‍රී ලංකා නීති විද්‍යාලය සහ අධිකරණ අමාත්‍යාංශය එකල දැනුවත් කළ බවත් නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියේය. මෙහිදී ජනාධිපති කොමිසමේ සාමාජිකයෙකු ප්‍රශ්න කර සිටියේ මෙලෙස අසාමාන්‍ය ලෙස මුස්ලිම් සිසුන් බවා ගැනීම වැඩිවීමට හේතුව කුමක්ද යන්නයි. එයට පිළිතුරු දෙමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්‍ෂවරයා කියා සිටියේ, ව්‍යාප්තවාදය සහ රටේ සුළුතර ජන කොට්ඨාසයක් බහුතරය සමග කරන අරගලයක් මෙයට මුල්වී ඇති බවයි. එවැවින් මෙම ප්‍රශ්නයට මුහුණ දිය යුත්තේ බුද්ධිමත්ව බවද නිලන්ත ජයවර්ධන මහතා වැඩිදුරටත් කොමිසම හමුවේ සදහන් කළේය.

    Latest News