ශානි අබේසේකර ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කර ගැනේ

ජූලි 30, 2020

    ජනාධිපතිවරණයෙන් පසුව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ට ලබාදුන් ස්ථාන මාරුව අවලංගු කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් ගොනුකර ලද මූලික අයිතිවාසිකම් පෙත්සම ඔහු විසින් ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව එය නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කෙළේය.

    මෙම පෙත්සම අද සිසිර ද ආබෲ, එල්. ටී. බී. දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව වෙනත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙන හෙයින් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බවත් එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් ඉල්ලා සිටියා.

    එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ශානි අබේසේකර මහතාගේ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙමින් එය නිශ්ප්‍රභ කිරීමට නියම කළා.

    ශානි අබේසේකර මහතා මෙම පෙත්සම තුළින් චෝදනා කර තිබුණේ ඉකුත් ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කර තමාව ගාල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට මාරු කිරීමට වැඩ බලන පොලිස්පති වරයා පියවර ගත් බවයි.

    එමෙන්ම ජීවිත තර්ජනවලට මුහුණ දී සිටින තමන්ට එතෙක් සපයා දී තිබූ ආරක්ෂාව ඉවත් කිරීමට පියවර ගැනුණු බව ද ඔහු එම පෙත්සමෙන් චෝදනා කර තිබුණා.

    එබැවින් තමන්ට ලබාදී ඇති ස්ථාන මාරුව අවලංගු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් තමන්ව නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුරේ පිහිටුවන නියෝගයක් නිකුත් කරන ලෙසත් ශානි අබේසේකර මහතා විසින් මෙම පෙත්සම තුළින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණි.

    Latest News