රාජංගනයේ ග්‍රාම සේවා වසම් දෙකක සංචරණ සීමා ඉවත් කෙරේ

ජූලි 28, 2020

    තාවකාලික සංචරණය සීමා කෙරුණු, රාජංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම සේවා වසම්වලින් දෙකක සංචරණ සීමා ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

    ඒ සිරිමාපුර සහ නවසිරිගම ග්‍රාමසේවා වසම් දෙකයි.

    කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශන සේවාවක් සඳහා සහභාගි වූ යුද හමුදා නිලධාරියෙකුට කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බවට පසුගියදා වාර්තා විය. ඔහු එම ප්‍රදේශ යේ ස්ථාන කිහිපයකම සංචාරය කර තිබිණ. ඔහු සමීපව ඇසුරු කළ කිහිප දෙනෙකුට ද කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බවට හඳුනා ගැණින. රෝගීන් වාර්තාවීමත් සමඟ රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාමසේවා වසම් 10ක පමණ සංචරණය සීමා කෙරිණ. වාර්තා වූ කොවිඩ් 19 රෝගීන් සමීපව ඇසුරු කළ පුද්ගලයින් ස්වයං නිරෝධායනයට යොමු කෙරිණ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මේ වනවිට සිය නිරෝධායන කාලසීමාව අවසන් කර තිබේ. පීසීආර් පරීක්‍ෂණද සිදු කෙරිණ. මේ හේතුවෙන් සිරිමාපුර සහ නවසිරිගම ග්‍රාමසේවා වසම්වලට පනවා ඇති සංචරණ සීමා ලිහිල් කරන බව, සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව, ඊයේ පස්වරුවේ සිට එම ප්‍රදේශවලට යොදවා තිබූ මාර්ග බාධක ඉවත් කෙරිණ.

    කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව හඳුනා ගැනුණු කොවිඩ් 19 රෝගීන්ගේ සංඛ්‍යාව 597 දක්වා ඉහළ ගොස් තිබේ. ඔවුන්ගෙන් 482ක්ම පුනරුත්ථාපනය වන රැඳවියන්. කාර්ය මණ්ඩලයට අයත් 65 දෙනෙකු ද ඒ අතරවේ. ආරාධිත කාර්ය මණ්ඩලයට අයත් 05 දෙනෙක් සහ එම මධ්‍යස්ථානය ආශ්‍රිතව හඳුනා ගැනුණු රෝගීන්ගේ සමීපතමයන් වන 44 දෙනෙකු ද එම පිරිසට අයත්. අනෙක් පුද්ගලයා වැලිකඩ බන්ධනාගාරයේ දී හඳුනා ගැනුණු කොවිඩ් 19 රෝගියායි.

    මේ අතර කොවිඩ් 19 රෝගය වැළඳුණු තවත් 23 දෙනෙකු ඊයේ වාර්තා විය. ඔවුන්ගෙන් 17 දෙනෙකුම සේනපුර නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳවියන්. 05 දෙනෙකු කටාර් සිට පැමිණි පුද්ගලයින් වන අතර, අනෙක් පුද්ගලයා පැමිණ ඇත්තේ සවුදි අරාබියේ සිට.

    කොවිඩ් 19 රෝගය වැළඳුනු සමස්ත රෝගීන්ගෙන් 2121ක්ම මේ වනවිට පූර්ණ සුවය ලබා තිබේ. එම ප්‍රතිශතය 75.61ක්. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ, 673 දෙනෙකු පමණි. එම ප්‍රතිශතය 23.99ක්.

    මේ අතර, අද වනවිට මෙරට තුළ පීසීආර් පරීක්‍ෂණ එක් ලක්‍ෂ 54,191ක් සිදුකර තිබේ. ඊයේ දිනය තුළ පීසිආර් පරීක්‍ෂණ 1,126ක් සිදු කෙරිණ.

    පදවිය ප්‍රදේශයේ විදුහල් කිහිපයකට උෂ්ණත්වමාන ලබාදීම ඊයේ සිදු කෙරිණ. ඒ, පදවිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී. යළි පාසල් ආරම්භ කිරීමේදී සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කිරීම උදෙසා මෙම උෂ්ණත්වමාන ලබාදීම සිදු කෙරිණ. ග්‍රාමීය සමාජ සංවර්ධන ආයතනය වැඩසටහන ක්‍රියාත්මක කළේය. ඒ අනුව පදවිය “සී යාය” විදුහල, අලුත්හල්මිල්ලෑව විදුහල සහ කුඩා රත්මලේ විදුහල සඳහා මෙම පරිත්‍යාග සිදු කෙරිණ.

    Latest News