සහරාන්ගේ ප්‍රහාරයට පෙර ඒ පිළිබඳ දැනුවත් කළා - ජාතික බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ

ජූලි 28, 2020

    සහරාන් හෂීම්ගේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳ පාස්කු ප්‍රහාරයට පෙර ඉකුත් වසරේ ජනවාරි මාසයේ දී, ජාතික ආරක්‍ෂක කවුන්සිලය ලිඛිතව සහ වාචිකව දැනුවත් කර තිබූ බව, ජාතික බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා ජනාධිපති කොමිසම හමුවේ ඊයේ ප්‍රකාශ කළේය.

    ඔහු සම්බන්ධයෙන් දිගින් දිගටම බුද්ධි තොරතුරු වාර්තා කර තිබියදීත් ඔහු අත්අඩංගුවට ගැනීමට කිසිදු විමර්ශන අංශයක් අඛණ්ඩව ක්‍රියාත්මක නොවූ බව, නිලන්ත ජයවර්ධන මහතා පවසයි.

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට, පූර්ව දැනුවත් කිරීම විදේශ බුද්ධි සේවයකින් ලද එවකට රාජ්‍ය බුද්ධි සේවයේ, අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා ඊයේ පළමුවරට කොමිසම හමුවේ සාක්‍ෂිදීමට පැමිණියේය. එහෙත්, ඔහුගෙන් සාක්‍ෂි විමසීමේ මුල් අවස්ථාව මාධ්‍යයට විවෘත වූයේ නැත. ඒ නිලන්ත ජයවර්ධන මහතා, ඔහුගේ නීතිඥවරයා සහ කොමිසමට සහය දක්වන රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය කළ ඉල්ලීමකට අනුවයි. කෙසේ වෙතත් සාක්‍ෂි විමසීමේ කොටසක් හෝ මාධ්‍යයට විවෘත කළ යුතු බව, කොමිසමේ සභාපතිවරයා ප්‍රමුඛ සාමාජිකයින් පිරිසකගේ මතය වූ බැවින් පස්වරු එකට පමණ ආරම්භ වූ සාක්‍ෂි විමසීම පස්වරු 6.20 දක්වා පමණක් මාධ්‍යයට විවෘත කෙරිණ.

    ඒ වනවිට රටේ වගකිවයුතු තනතුරු දැරුවන් කිහිප දෙනෙකු සමඟ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්‍ෂවරයාට පැවතියේ කිනම් සබඳතාවක් දැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේය. පාස්කු ප්‍රහාරය එල්ලවීමට පෙර සියලුම උසස් නිලධාරීන් තමා සමඟ සබඳතා පැවැත්වූ බවත්, ඔවුන් සමඟ රාජකාරිමය ගනුදෙනු පමණක් සිදු කළ බවත්, නිලන්ත ජයවර්ධන මහතා එහිදී ප්‍රකාශ කළේය. තමන් රාජකාරිමය වශයෙන් බුද්ධි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටියේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට බවත්, ජනාධිපතිවරයා විසින් ඉල්ලීමක් කළ අවස්ථාවලදී ආරක්‍ෂක ලේකම්වරයාගේ අනුමැතිය යටතේ එම වාර්තා ජනාධිපතිවරයාට යැවූ බවත්, ඔහු සඳහන් කළේය.

    කෙසේ වෙතත් අග්‍රාමාත්‍යධූරයේ සිටි, රනිල් වික්‍රමසිංහ මහතා එවකට නීතිය හා සාමය විෂය භාර අමාත්‍යවරයාව සිටි, සාගල රත්නායක මහතා හරහා තොරතුරු වාර්තා ලබාගත් බවද, නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියේය.

    තමා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්‍ෂවරයාව සිටි 2015 වසරේ මාර්තු මස 3 වැනි දින සිට 2019 වසරේ මැයි 31 දක්වා වූ කාලය තුළ ආරක්‍ෂක ලේකම්වරයාට බුද්ධි හා විවිධ තොරතුරු ඇතුළත් වාර්තා 2,738ක් යවා ඇති බව ද, ඔහු සඳහන් කළේය. 2017 මාර්තු මස 10 වැනි දින සිදුවූ අලියාර් ගැටුමෙන් පසු සැඟව සිටි සහරාන් හෂීම් දිගින් දිගටම අයි එස් මතවාදය සාධාරණීකරණය කිරීම හේතුවෙන් ඔහු අන්තවාදියෙකු නොව සැබවින්ම ත්‍රස්තවාදියෙකු බව, තමන් ජාතික ආරක්‍ෂක කවුන්සිලයට ලිඛිතව හා වාචිකව දැනුවත් කර තිබූ බව නිලන්ත ජයවර්ධන මහතා කොමිසම හමුවේ අවධාරණය කළේය.

    “මේ පුද්ගලයා අත්අඩංගුවට ගන්න, නැතිනම් විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා” යැයි තමන් ආරක්‍ෂක කවුන්සිලය දැනුවත් කරමින් සඳහන් කළ බව, ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මාවනැල්ලේ, බුදුපිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ සහරාන් හෂීම් වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය සිදුවීමට ද, සම්බන්ධ බව, පාස්කු ප්‍රහාරයට පෙර ජනවාරි මාසයේ, ආරක්‍ෂක කවුන්සිලය ලිඛිතව සහ වාචිකව දැනුවත් කළ බව, සාක්‍ෂිකරු වැඩිදුරටත් අනාවරණය කළේය.

    කෙසේ වෙතත්, තමන් සැපයූ වාර්තාවලට කිසිදු සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණු බව, ඔහු කොමිසම හමුවේ පැවසුවේය. මෙහිදී ජනාධිපති කොමිසම ප්‍රශ්න කළේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර දැනුවත් කිරීමේ බුද්ධි තොරතුරක් අප්‍රේල් 4 වැනි දින විදෙස් බුද්ධි අංශයකින් ලබාදෙන විටත් ඔබ සහරාන් හෂීම් ත්‍රස්තවාදියෙකු බව, දැන සිටියේ ද යන්නයි.

    සහරාන් හෂීම් යනු අයි එස් මතවාදය වෙනුවෙන් පෙනී සිටින ත්‍රස්තවාදියෙක් බව තමන් පැහැදිලිව දැන සිටි බව ඊට පිළිතුරු දෙමින් නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියේය. සහරාන් හෂීම් නොයෙක් ප්‍රදේශවල සැරිසරමින් අයි එස් මතවාදය ප්‍රචාරණය කරන බව, දැන සිටියේ ද යන්න රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය නිලන්ත ජයවර්ධන මහතාගෙන් එහිදී විමසා සිටියේය. සහරාන් හෂීම් එවැනි ක්‍රියාකාරකම්වල යෙදෙන බව, තමන් දැන සිටි අතර, සහරාන් කැකුණුගොල්, ප්‍රදේශයේ සැඟව සිටින බව තමන් වගකිව යුතු පාර්ශවයන්ට දැනුම් දී තිබුණු බව ජයවර්ධන මහතා සඳහන් කළේය.

    එහිදී ජනාධිපති කොමිසමේ කොමසාරිස්වරයෙකු ප්‍රශ්න කළේ, එවැනි වටපිටාවක් තුළ සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ මන්ද යන්නයි. බුද්ධි අංශ විසින් තොරතුරු ලබාදී තිබියදී විමර්ශන අංශ ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බව, නිලන්ත ජයවර්ධන මහතා එහිදී කියා සිටියේය. වසර ගණනාවක් රාජ්‍ය බුද්ධි සේවය කොළඹට ගහනවා යැයි කිසිදු සඳහනක් කර නොතිබුණු පසුබිමක මෙවැනි තොරතුරක් ලබාදුන් විට ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීමට තිබූ බව නිලන්ත ජයවර්ධන මහතා ජනාධිපති කොමිසම හමුවේ වැඩිදුරටත් සඳහන් කළේය.

    Latest News