සහතික මිල යටතේ යල කන්නයේ වී මිලදී ගැනීමට රු. මි. 10,400 ක්

ජූලි 28, 2020

    රුපියල් 50 ක රජයේ සහතික මිල යටතේ මෙවර යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 10,400 ක මූල්‍ය පහසුකම් ලබාදේ.

    2020 යල කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ වැඩසටහන යටතේ වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 50 ක රජයේ සහතික මිල ගණන් යටතේ මිලදී ගැනීමේ කටයුතු රජය මේ වනවිට ආරම්භ කර ඇත.

    මෙම වැඩසටහනේ මුල් අදියර යටතේ මෙවර යල කන්නයේ වී අස්වනු මෙට්‍රික් ටොන් 200,000 ක් මිලදී ගැනීමට රජය අපේක්ෂා කරන අතර, ඒ සඳහා අවශ්‍ය රුපියල් මිලියන 10,400 ක මූල්‍ය පහසුකම් රාජ්‍ය බැංකු හරහා වී අලෙවි මණ්ඩලය වෙත මහා භාණ්ඩාගාරය විසින් ලබාදීමට දැනටමත් පියවර ගෙන ඇත.

    අතිගරු ජනාධිපතිතුමාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව, නව රජය විසින් පසුගිය මහ කන්නයේදී ගොවීන්ට වී අස්වනු සඳහා ඉහළ මිලක් ලබාදෙමින් වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 50 ක රජයේ සහතික මිල යටතේ මිලදී ගත් අතර, මෙවර යල කන්නයේදී ද එම සහතික මිල යටතේම වී මිලදී ගැනීම සඳහා රටපුරා පවතින වී අලෙවි මණ්ඩලයේ වී ගබඩා මේ වනවිට විවෘත කර ඇත.

    පෙර වසරවල යල හා මහ කන්නවලදී ගොවීන්ගෙන් වී මිලදී ගනු ලැබුවේ නාඩු වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 38 ක හා සම්බා වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 41 ක මිල ගණන් යටතේ වන අතර, නව රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ වී කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 50 ක සහතික මිල යටතේ සමස්ත වී අස්වනු ප්‍රමාණයම අලෙවි කරගැනීමට ගොවීන්ට අවස්ථාව හිමිවෙනු ඇත.

    Latest News