පාස්කු ප්‍රහාරය සැලසුම් කර තිබුනේ 2020 දී යැයි අනාවරණයක් (වීඩියෝ)

නොවැ 21, 2020
  • සහරාන් හෂීම් ඇතුළු බෝම්බකරුවන් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර තිබුණේ 2020 වසර තුළදී බවට විමර්ශන මගින් අනාවරණය වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා මුල්වරට අනාවරණය කළා.

    ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ සාක්ෂි ලබාදෙමින්.

    එහිදී ඔහු බෝම්බකරුවන්ගේ තවත් සැලසුම් කිහිපයක් මුල්වරට අනාවරණය කළා.

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබාදීමට කැඳවා තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතායි.

    කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් වව්නතිව් පොලිස් මාර්ග බාධකයේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඝාතනය කළ සිද්ධිය, මාවනැල්ලෙ බුදු පිළිම කඩා දැමීම, වනාතවිල්ලුවෙන් පුපුරන ද්‍රව්‍ය තොගයක් සහිත ඉඩමක් සොයාගැනීම ආදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන මෙහෙයවූ සිදුවීම් සම්බන්ධයෙන් සඳහන් කළා.

    රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා - " සහරාන් හෂීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු වාර්තා වුණාද මේ පරීක්ෂණවලදී ?"

    රවී සෙනෙවිරත්න - හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව - " වනාතවිල්ලුවේදී 4ක් CID භාරයට ගත්තා. ඉන් දෙදෙනෙකු සම්බන්ධයෙන් දීර්ඝ ප්‍රශ්න කිරීම් කළා. එතනදී තමයි සහරාන් හෂීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රථමවරට කරුණු අනාවරණය වුණේ. ඉන්පසුව වනාතවිල්ලුවෙන් සොයාගත් දෑ පිළිබඳ පොලිස්පතිට වාර්තාවක් යොමුකළා. 2019.01.05. පොලිස්පතිව හමුවෙලා සාකච්ඡාත් කළා. එතනදි ඔහුට දැනුම්දුන්නා මේක අවි ආයුධ එකරැස් කරන ස්ථානයක් සහ පුහුණු කඳවුරක් ලෙස පවත්වා ගෙන ගිහින් තියෙනවා කියලා. රසායනික ද්‍රව්‍ය උපයෝගී කරගෙන ඔවුන් පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනය කර ඇති බවත් මේ නිසා ත්‍රස්තවාදී ප්‍රහාරයක් ඉදිරියේදී සිදුවෙන්න පුලුවන් බව පොලිස්පතිවරයාට දැනුම් දුන්නා. එතනදි පොලිස්පති කිව්වා එතුමාව ඒ වෙනකොට ජාතික ආරක්ෂක කවුන්සිලයට කැඳවන්නැ කියලා. එමනිසා මට වැටහුනා මේ තොරතුරු ආරක්ෂක කවුන්සිලයට දන්වන්න වෙන්නෙ නැහැ කියලා."

    රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා - " ප්‍රහාරයක් සිදුවෙන බව වූ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂගෙ ලිපිය ජාතික බුද්ධි ප්‍රධානියා විසින් පොලිස්පතිට යොමුකර තිබුණා. එය ඔබට පොලිස්පතිගෙන් ලැබුණා ද ?"

    රවී සෙනෙවිරත්න - හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව - " මට ලැබුණේ නැහැ ස්වාමීනි. නමුත් 2019.04.09 දිනැති පොලිස්පතිට එවා තිබූ ලිපියේ පිටපතක් 2019.04.16 මට ලැබුණා. මම රාජකාරීමය කටයුත්තකට විදෙස් ගත වෙලා දිවයිනට පැමිණි පසු තමයි ස්වාමීනි මට මේ පිටපත 16 වෙනිදා ලැබුණේ. එය පොලිස්පති මට යොමුකළේ නැහැ. අපිට තිබුණේ සහරාන් ඇතුළු ඒ පිටපතේ නම් සඳහන් පිරිස අත්අඩංගුවට ගැනීම. මම ඒ අනුව මෙය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී වික්‍රමසේකරට හා අධ්‍යක්ෂට යොමුකළා. නමුත් අධ්‍යක්ෂ ශානි අබේසේකර මේ ප්‍රහාරය එල්ලවන බවට වූ ලිපිය දැක තිබුණේ පාස්කු ප්‍රහාරයට පසු අප්‍රේල් 23 ස්වාමීනි."

    රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා - " අප්‍රේල් 21 උදෑසන රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂගෙන් එස්.එම්.එස්. පණිවිඩයක් ලැබුණා ද අද උදෑසන ප්‍රහාරය එල්ල වෙනවා කියලා ?"

    රවී සෙනෙවිරත්න - හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව - " ඔව් ස්වාමීනි නමුත් මම ඒ පණිවිඩය දැක්කේ බෝම්බ පිපුරුණාට පස්සේ. "

    ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු - " ප්‍රහාරයට පස්සේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මාධ්‍යට සඳහන් කළා ඔහුගේ පියා ප්‍රහාරයට කලින් දවසේ කිව්වා කියලා 'හෙට පල්ලි යන්න එපා' කියලා. මේ කොමිසමට ඉදිරිපත් වූ සාක්ෂි අනුව CID එකෙන් මාවනැල්ල සහ වනාතවිල්ලුවේ පරීක්ෂණ මෙහෙයවමු පොලිස් සැරයන් නන්දලාල් නිලධාරියා අප්‍රේල් 20 රාත්‍රියේ හරීන් ප්‍රනාන්දු මහතාගෙ පියාට දුරකතන ඇමතුමක් අරගෙන තිබෙනවා. සාක්ෂි අනුව වියහැකි කරුණක් වන්නේ නන්දලාල් විසින් එලෙස හරීන් ප්‍රනාන්දු මහතාගෙ පියාට පණිවිඩය දුන්නා කියන එකයි. ඒක එහෙම වුණානම් සෙනෙවිරත්න මහත්මයා කොහොමද CID විමර්ශන නිලධාරින් 20 රෑ දැනගන්නේ 21 ප්‍රහාරයක් සිදුවෙනවා කියලා ?"

    රවී සෙනෙවිරත්න - හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව - " නන්දලාල් නිලධාරියාට තොරතුර ලැබුණේ කොහොමද කියලා මට දැනුමක් නැහැ. නමුත් ප්‍රහාරය හෙට සිදුවෙනවා කියලා නිලන්ත ජයවර්ධන මහත්මයා 20 රෑත් මාව දැනුම්වත් කළා. මම ඒ තොරතුරත් සහකාර පොලිස් අධිකාරී වික්‍රමසේකරට හා අධ්‍යක්ෂ ශානි අබේසේකරට එවෙලේම යොමුකරලයි තිබුණේ "

    අනතුරුව සාක්ෂිකාර රවී සෙනෙවිරත්න මහතා විසින් සහරාන් හෂීම් ඇතුළු බෝම්බකරුවන් ප්‍රහාරය සැලසුම් කර ඇති ආකාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන මඟින් අනාවරණය කරගෙන ඇති කරුණු රැසක් ජනාධිපති කොමිසමට අනාවරණය කළා.

    රවී සෙනෙවිරත්න - හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව - " විමර්ශනවලදී සොයාගත්තා ස්වාමීනී, 2014 ඉදන් සහරාන්ලා කටයුතු කර තිබුණත් ප්‍රහාරයක් සඳහා ඔවුන් සූදානම් වෙලා තිබෙන්නේ 2017 වසරේ සිට. කණ්ඩායම් හදා ගන්න බැරි වුණාම තමයි ශාහිඩ්ට කියලා තියෙන්නෙ බුදුපිළිමෙක හරි ගලක් ගහන්න කියලා. ඊටපස්සෙ දේශනවලදි සහරාන් අහලා තියෙනවා සටන්කරුවො වෙන්නද කැමති ප්‍රහාරකයො වෙන්නද කැමති කියලා. සහරාන් නැති තැන කණ්ඩායම කතා වෙනවා මෙරට තුළ නැතුව වෙන රටකට ගිහින් පුපුරවා ගැනීම් කරන්න. නමුත් සහරාන් යළි පැමිණ ඔවුන්ව අභිප්‍රේරණය කරනවා මෙරට තුළම ප්‍රහාර එල්ල කරගන්න. ඒ අනුව ස්වාමීනි 2020 අවුරුද්දේ තමයි ඔවුන් මෙම ප්‍රහාරය සිදුකරන්න සැලසුම් කරලා තිබුණේ. නමුත් 2019 අප්‍රේල් මුල් සතිය වෙනකොට සහරාන් තීරණය හදිසියේම වෙනස් කරනවා 'අපි දැන් ප්‍රහාරයක් කරන්න ඕනෙ' කියලා. ඒකට කණ්ඩායමේ අනිත් අය එකඟ වෙලා තිබුණේ නැහැ නමුත් අප්‍රේල් 9 වෙනකොට ඒ අය කැමති වෙලා 17 වෙනිදා වෙද්දි තමයි ඔවුන් තීරණය කර තිබෙන්නේ 21 වෙනිදා පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලකරනවා කියලා. හිටිහැටියේ දිනවකවානු වෙනස් වීම වගේ දේවල් එක්ක සහරාන්ට ඉහළින් කෙනෙක් ඉන්න ඕනේ කියලා කරපු විමර්ශනය අනුව වැටහුනා. මට විශ්‍රාම යන්න කලින් අවශ්‍ය වුණේ ඒ සහරාන්ව මෙහෙයවූ කෙනාව හොයාගන්න."

    මෙහිදි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයාවරයා සාක්ෂිකරුගේ අවධානයට කොළයක ලියා පුද්ගලයකුගේ නමක් ඉදිරිපත් කළ අතර සාක්ෂියේදී ඔහු සඳහන් කළ පුද්ගලයා ඔහු විය හැකි බවත් සහරාන් එම පුද්ගලයා සමඟ කටයුතු කර ඇති බවට තොරතුරු ඇති බවත් රවී සෙනෙවිරත්න මහතා සඳහන් කළා.

    අනතුරුව ප්‍රහාරයට පසු සහරාන්ලාගේ තිබූ තවත් සැලැස්මක් සාක්ෂිකරු අනාවරණය කළා.

    රවී සෙනෙවිරත්න - හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව - " ප්‍රහාරය දිනයේ යම් අයෙකු අසාර්ථක වුණොත් ඒ පුද්ගලයා පැමිණිය යුතු ස්ථානයක් ඔවුන් සුදානම් කරගෙන තිබුණේ. එය කොළඹ දේවස්ථානයක්. එතැනට පැමිණෙන අසාර්ථක වූ ප්‍රහාරකයා තවත් අයෙකුට ඔහු එහි පැමිණි බව කිව යුතුයි. ඒ අනුව පැමිණෙන ප්‍රහාරකයා කැඳවාගෙන යන්න තව කෙනෙක් එතැනට එනවා. ඉන් පසු ඔවුන් ආරක්ෂිත ස්ථානයක් වෙත යන්නයි සැලසුම වී තිබුණේ. "

    එලෙස අසාර්ථක වන ප්‍රහාරකයන් කැඳවා ගෙන යාමට යොදවා තිබූ පුද්ගලයාගේ නම ද සාක්ෂිකරු විසින් කොලයක සටහන් කර ජනාධිපති කොමිසමට ඉදිරිපත් කළා. එහිදී ඔහු සඳහන් කළේ, අදාළ පුද්ගලයා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

    Last modified on සෙනසුරාදා, 21 නොවැම්බර් 2020 20:40

    Latest News