රටට සහ ජනතාවට විරුද්ධ ඕනෑම නායකයෙකුට එරෙහි වනවා - සුවපති

ජන 03, 2019

    රට වෙනුවෙන් පක්ෂවලට ගැති නොවුනද තම ප්‍රතිපත්ති අඛණ්ඩව ආරක්ෂා කළ බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    නව වසරේ සිය ඡන්දදායකයින් හමුවීම සදහා කළුතරට පැමිණි සෞඛ්‍ය, අමාත්‍යවරයා කළුතර නගර ශාලා ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

    සෞඛ්‍ය අමාත්‍යවරයා- “දේශපාලනයට පැමිණීමෙන් පසු කළුතර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා 15,000 ක් පමණ ලබාදී තිබෙනවා. ජනතාව මට බලය ලබාදුන්නේ රටට සහ ජනතාවට සේවය කිරීමටයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස වසර 24 ක් සේවය කරන මම අමාත්‍යධූර රැසක් හොඹවා තිබෙනවා. රට වෙනුවෙන් ඇතැම් අවස්ථාවල දී පක්ෂ පාවා දුන්නා. නමුත් පක්ෂ වලට ගැති වුනේ නැහැ. මගේ ප්‍රතිපත්ති මම අඛණ්ඩව ආරක්ෂා කළා. යුධ ජයග්‍රහණය සදහා හිටපු ජනාධිපතිවරයාටත් සහයෝගය ලබාදුන්නා. නමුත් පසුව ඔහුට විරුද්ධ වී නව රජයක් බිහි කළා. ඒ රට තුල යහපාලනය ස්ථාපිත කිරීමටයි. යහපාලන රජය ලබාගත් තීන්දු තීරණ හේතුවෙන් ජයග්‍රහණ රැසක් ලබාගෙන තිබෙනවා. ඒ පිළිබද ප්‍රචාරයක් තිබුනේ නැහැ. නමුත් එම ජයග්‍රහණ පිළිබදව රට දැනුවත්වීමට අවස්ථාව හිමි වුනේ ජනාධිපතිවරයාගේ තීරණයත් සමගයි. වර්තමානයේ මාධ්‍යය ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලයම විවේචනය කරනවා. නමුත් මාධ්‍යයට කිසිදු හිරිහැරයක් නැහැ. මාධ්‍ය නිදහස අයිතිය අකුරටම ලබා දී තිබෙනවා. නමුත් මාධ්‍ය පෙන්වා දෙන්නේ රාජපක්ෂලා හොදයි කියලා. අපි දින 53 ක අනවරථ අරගලයක් සිදු කළා. මහරජාණෝ තවත් රජෙක් ඉදිරියේ දිවුරුම් දී යුව රජාවීමෙන් ලැඡ්ඡාවට පත් වුනා. නඩු වලින් බේරීම සදහා තමයි ඔහු යුවරජා වුනේ. සිරිසේන මහතාගේ කැබිනට් මණ්ඩලයටත් එකතු වුනා. මෙයයි ලැඡ්ඡා නැති දේශපාලනය. රටට, ප්‍රජාතන්ත්‍රවාදයට, ජනතාවට එරෙහිව මම වැඩ කරන්නේ නැහැ. ඊට ඉඩදෙන්නෙත් නැහැ. ඕනෑම නායකයෙකු ප්‍රතිපත්ති සහ ප්‍රජාතන්ත්‍රවාදය පාවා දෙන විට ඊට එරෙහිව මම වැඩ කරනවා යැයි “ඔහු කියා සිටියේය.

     

    Latest News