අනුෂා සොනාලිට “සයුරුපුර“ නිවසක්

ජන 03, 2019

    නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් සම්මානනීය සිනමා රංගන ශිල්පිනී අනුෂා සොනාලි මහත්මිය සඳහා අද (03) මොරටුව, අඟුලාන “සයුරුපුර“ නිවාස සංකීර්ණයෙන් නිවසක් පරිත්‍යාග කෙරිණ.

    කලක පටන් සොනාලි මහත්මිය මාංශපේශී ක්‍රියාකාරිත්වයේ දුර්වලතාවයක් හේතුවෙන් ඇවිද ගැනීමට නොහැකි තත්වයෙන් පසුවන අතර ඇගේ පුතනුවන් සහ මව සමඟ කුලී නිවසක ජීවත්විය.

    කිසිදු ස්ථිර ආදායම් මාර්ගයක් නොතිබූ ඔවුන්ට හිතවතුන්ගේ උපකාර පමණක් ලැබුණු අතර ඇගේ පුතා විසින් ඇගේ එදිනෙදා කටයුතු සියල්ල ඉටුකරනු ලැබීය. ඇගේ මව ද මෙවැනි අසනීප තත්වයකින් පසුවන බව පැවසේ.

    ඇගේ මෙම අසරණභාවය හේතුවෙන් ඇයට අදාළ නිවාස සංකීර්ණයේ රුපියල් මිලියන 03ක් පමණ වටිනා නිවසක් පවරා දෙනු ලැබිණි. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයට රන්ජන් රාමනායක මහතාද එක්විය.

    මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ කලාකරුවන්ගේ උන්නතිය වෙනුවෙන් ඇප-කැප වන බවයි. ඒ අනුව මෙම වසරේ ඔක්තෝබර් මාසය වනවිට කලා ගම්මාන 25 ඉදිකිරීම තම අරමුණ වන බවද ඒ මහතා කියා සිටියේය.

    එමෙන්ම අනූෂා සොනාලි මහත්මියට නිවසක් ලැබුණ ද ජීවන මගේ සුරක්‍ෂිත බවක් නොමැති බැවින් ඔවුන්ට ස්ථිර ආදායමක් ලැබෙන පරිදි ඇගේ පුතණුවන්ට සුදුසුකම් අනුව තම අමාත්‍යාංශයේ රැකියාවක් ලබාදීමට ද කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    මෙම අවස්ථාවට එක්වූ රන්ජන් රාමනායක මහතා කියා සිටියේ කලා ක්ෂේත්‍රයේ මේ ආකාරයට අසරණ වූ තවත් කලාකරුවන් සිටින බවත් ඔවුන් වෙනුවෙන් ඇප-කැපවී කටයුතු කරන සජිත් ප්‍රේමදාස වැනි අමාත්‍යවරයෙකුට කලා ක්‍ෂේත්‍රය බාරදීම වාසනාවක් කොට සලකන බවත්ය.

    Last modified on සිකුරාදා, 04 ජනවාරි 2019 09:11

    Latest News