අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන්ගේ ඉල්ලීමක් විනිසුරු මඩුල්ල ප්‍රතික්ෂේප කරයි

ජූලි 17, 2020

    අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති නඩුවේ නියෝගයකට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට කැරුණු ඉල්ලීමක් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ප්‍රතික්ෂේප කරයි.

    බලපත්‍ර නොමැතිව අලි ඇතුන් පස් දෙනෙකු සන්තකයේ තබා ගෙන ජාවාරම් කළේ යැයි චෝදනා කරමින් සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේදී දුන් නියෝගයකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා අවසර දෙන ලෙස විත්තිකරුවන් විසින් කරනු ලැබූ ඉල්ලීමක් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කළා.

    විකුම් කළුආරච්චි, ධම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබුවා.

    මීට පෙර විත්තියේ නීතිඥවරු අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුවේ සාක්ෂිකරුවකු වශයෙන් පාර්ලිමේන්තුවේ මහලේකම් කැඳවන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලීමක් කර තිබූ අතර එම ඉල්ලීම ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා.

    එම නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා අවසර දෙන ලෙස විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉල්ලීම් කර තිබුණා.

    එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ විත්තිකරුවන්ට අවශ්‍ය නම් විත්තියේ සාක්ෂිකරුවෙකු වශයෙන් පාර්ලිමේන්තුවේ මහලේකම් කැඳවීමට හැකියාව පවතින බවයි.

    එසේ තිබියදී තම අධිකරණය දුන් තීන්දුවකට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට විත්තිය සූදානම් වන්නේ මෙම නඩු කටයුත්ත ප්‍රමාද කිරීමේ අරමුණකින් යයිද පුද්ගල විනිසුරු මඩුල්ල චෝදනා කළා.

    ඒ අනුව අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා කරනු ලැබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නඩු විභාගය ලබන 22 වනදා කැඳවීමට ද නියම කළා.

    Latest News