අලි රොෂාන් ඇතුළු 5 කට එරෙහිව නඩුවේ තීරණයක් නොවැම්බර් 14

ඔක් 22, 2019

    අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය නොවැම්බර් 14 වනදා ප්‍රකාශයට පත්කිරීමට නියෝග කෙරේ.

    බලපත්‍ර නොමැතිව අලි ඇතුන් පස් දෙනකු සන්තකයේ තබා ගනිමින් ජාවාරම් කළ බවට චෝදනා කරමින් සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව ප්‍රතික්ෂේප කරන ලෙස විත්තිය විසින් ඉදිරිපත් කර තිබෙන මූලික විරෝධතාව පිළිබඳව නියෝගය නොවැම්බර් මස 14 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියෝග කර තිබේ.

    විකුම් කළුආරච්චි, ධම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය සිදු කළේය.

    විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කර ඇති ආකාරය දෝෂ සහිත බවත් එබැවින් ඒවා විභාග කිරීමට අධිකරණයට බලයක් නොමැති බැවින් ඒවා ප්‍රතික්ෂේප කරන ලෙස විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මූලික විරෝධතාවක් මතුකරමින් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

    එහෙත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබෙන චෝදනා නීත්‍යානුකූල ආකාරයට ගොනු කර තිබෙන බවයි.

    එම නිසා මූලික විරෝධතා ප්‍රතික්ෂේප කර නඩුව විභාගයට ගන්නා ලෙසද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා ඇත.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ලබන 14 වන දා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළේය.

    බලපත්‍ර නොමැතිව අලි ඇතුන් පස් දෙනෙකු සන්තකයේ තබා ගනිමින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබුණි. මෙම නඩුවේ විත්තිකරුවන් අතර වනජීවී දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂවරයකු වන උපාලි පද්මසිරි සහ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ලේඛනය භාරව කටයුතු කළ ලිපිකාරිනිය වන ප්‍රියංකා සංජීවනී යන අය ද ඇතුළත්ව සිටිති.

    Latest News