වැලි ප්‍රවාහනය කිරීම ගැන අභියාචනාධිකරණයෙන් පොලිස්පතිවරයාට නියෝගයක්

ජූලි 17, 2020

    බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කරනු ලබන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය පොලිස්පතිවරයාට නියම කළා.

    වැලි ප්‍රවාහනය කිරීම සඳහා තිබු බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමට ඉකුත්දා අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබූ තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සම අද සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ .එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය කළා.

    මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේ දී අමාත්‍ය මණ්ඩලය සහ පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා වැලි ප්‍රවාහනය කිරීම සඳහා ඛනිජ ද්‍රව්‍ය පනත යටතේ තිබූ බලපත්‍ර ක්‍රමය තවමත් එලෙසම පවතින බව සඳහන් කළා.

    එම කටයුතු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබු තීරණයක් වැරැදි ලෙස අර්ථකථනය කිරීම හේතුවෙන් වැලි ප්‍රවාහනය සඳහා බලපත්‍ර අවශ්‍ය නොවන බවට මතයක් පැතිරී ගිය බවයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේ.

    මෙහිදී පෙත්සම්කාර පාර්ශවය පෙනුමෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා කරුණු දක්වමින් වැලි ප්‍රවාහනය කිරීම සඳහා පෙර තිබූ බලපත්‍ර ක්‍රමය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වීම අවශ්‍ය බව අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.

    ඒ අනුව වැලි ප්‍රවාහනය කිරීම සඳහා ඛනිජ ද්‍රව්‍ය පනත යටතේ අනුගමනය කළ යුතු බලපත්‍ර ක්‍රමය ඒ ආකාරයෙන්ම ඉදිරියටත් ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයාට අභියාචන අධිකරණ විසින් නියෝග කළා.

    එමෙන්ම බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කරනු ලබන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසද අභියාචනාධිකරණය විසින් වැඩිදුරටත් පොලිස්පතිවරයාට කළ නියෝගය සඳහන් කළා.

    පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන ඔක්තෝම්බර් මස 19 වනදා වන දාට කල් තැබුණා.

    Latest News