සේනා නසන්න ඩ්‍රෝන තාක්ෂණය

ජන 03, 2019

     සේනා දළඹුවා මර්දනයට ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කර ගැනිමින් කෘමිනාශක ඉසීමේ පරීක්ෂණය ගලෙන්බිදුණුවැව බඩඉරිඟු වගාව ආශ්‍රිතව අත්හදා බැලීමක් අද සිදුකර තිබේ.

    මෙම තාක්ෂණය සේනා දළඹු මර්දනයට යොදා ගැනීමට හැකිදැයි සොයා බලන ලෙස කෘෂිකර්ම අමාත්‍ය, ධීවර, වාරිමාර්ග, පශු සම්පත් හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දෙනු ලැබීය. මෙම වැඩපිළිවෙලේ සාර්ථකත්වය අනුව මහ පරිමාණයෙන් බඩඉරිඟු වගා කර ඇති ප්‍රදේශවලට කෘමිනාශක ඉසීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

    සේනා දළඹු මර්දනයට අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පැවති සාකච්ඡාවක දී ඔහු කියා සිටියේ සේනා දළඹු මර්දනයට ගෙන ඇති වැඩපිළිවෙල අඛණ්ඩව ඉදිරියට ගෙන යන ලෙසයි. ඒ අනුව දිවයිනේ සියලුම කෘෂිකර්ම බලධාරීන් දැඩි අවධානය යොමු කර ඒ සඳහා පියවර ගන්නා ලෙස අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා උපදෙස්දෙනු ලැබීය.

    කෘෂිකර්ම අමාත්‍යාංශය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සේනා දළඹුවා මර්දනයට ගොවිජනතාව දැනුම්වත් කිරීම, කෘමිනාශක වර්ග 04ක් නිර්දේශ කිරීම, කෘමිනාශක මිලදී ගැනීම සඳහා 50%ක සහනාධාරයක් ලබාදීම සහ එක් එක් අංශවලින් සමන්විත කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීම වැනි පියවර රැසක් ගෙන තිබේ. සේනා දළඹු විශේෂය වී වගාවට බලපෑම් එල්ල කිරීම වැළැක්වීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සියලු අංශ දැනුම්වත් කිරිමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. 

    Last modified on බ්‍රහස්පතින්දා, 03 ජනවාරි 2019 15:11

    Latest News