අර්ජුනගේ හිටපු ආරක්ෂකට නඩු වැටෙන ලකුණු

ජන 03, 2019

    පසුගිය ඔක්තෝබර් 27වනදා දෙමටගොඩ පිහිටි ඛණිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථානයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය  අර්ජුන රණතුංග මහතාගේ එවක හිටපු ආරක්ෂක නිලධාරියා සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගෙන නඩු පැවරීමට කටයුතු කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළේය.

    පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක කිරීමෙන් ඔබ්බට ගොස් පොලිස් සැරයන්වරයා වෙඩි තබා ඇති බවත් ඒ අනුව අපරාධමය වරදක් සිදු කර ඇති බවට සාධාරණ සැකයක් ඇති වන බවත් මහේස්ත්‍රාත්තුමිය ප්‍රකාශ කළේය. මහේස්ත්‍රාත්තුමිය මෙලෙස ප්‍රකාශ කලේ, වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වූ මූලික මහේස්ත්‍රාත් පරික්ෂණයේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින්.‍

    සිද්ධිය සිදුවූ අවස්ථාවේ සැකකාර නිළධාරියාද පහර කෑමට ලක්ව ඇති බව පෙනී යන නමුත් එම අවස්ථාවේ සැකකරු කළ යුතුව තිබුනේ නිල ඇඳුමෙන් රාජකාරියේ සිටි පොලිස් නිලධාරින්ගගේ රැකවරණය ලබා ගැනීම බවත් ඉදිරිපත් වූ සාක්ෂි අනුව සැකකරු එවැනි උත්සාහයක නිරත වී නැති බව පෙනී යන බවත් මහේස්ත්‍රාත්තුමිය තම නියෝගයේ පෙන්වා දී තිබේ.
    අරුණ ශ්‍රී නන්දන සිල්වා නැමැති ඇමති ආරක්ෂක අංශයේ නිලධාරියා ලබන 11වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළේය. එම අවස්ථාවේ පහරදීම සිදු කල පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශන කර ඔවුන් අධිකරණ හමුවේ ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ද ලංකා ජයරත්න මෙනවිය කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළේය.

    Latest News