අල්ලස් ගත් පොලිස් පරීක්ෂක රිමාන්ඩ්

ජූලි 14, 2020

    රුපියල් 15,000/- ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගත්තේ යැයි සැකපිට අත්අඩංගුවට ගන්නා ලද පොලිස් පරීක්ෂකවරයෙක් ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

    අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද අදාළ පොලිස් පරීක්ෂකවරයා එම කොමිසමේ නිලධාරීන් විසින් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියට පමුණුවනු ලැබුවා.

    සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවට අල්ලස් කොමිසම විසින් කළ දැනුම්දීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකරු ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කළේය.

    යක්කල පොලිසියේ සේවය කළ සරත් ප්‍රේමචන්ද්‍ර නමැති පොලිස් පරීක්ෂකවරයෙක් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කෙරිණ.

    ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවක සැකකරුවකුට නියම කර ඇති ඇප කොන්දේසි ලිහිල් කර දීමට අවශ්‍ය කටයුතු ඉටු කරදීම සඳහා රුපියල් 15,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගත්තේ යැයි ලැබුණු පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම විසින් මෙම සැකකාර පොලිස් පරික්ෂකවරයා අත්අඩංගුට ගෙන තිබේ.

    Latest News