දේශීය ආදායම් කාර්ය මණ්ඩලයේ දිරිදීමනාව ලබන සතියේ...

ජූලි 13, 2020

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සඳහා ආදායම් ඉලක්ක සම්පූර්ණ කිරීම වෙනුවෙන් ගෙවනු ලබන දිරිදීමනාව හැකි ඉක්මනින් ලබාදීමට පියවර ගන්නැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.

    එම දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති හා අග්‍රාමාත්‍යවරයා අතර අද (2020.07.13) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ජාව අතරතුරදී මුදල් අමාත්‍ය ලේකම් එස්.ආර්.ආටිගල මහතාට අග්‍රාමාත්‍යවරයා මෙලෙස උපදෙස් දුන්නේය.

    ඒ අනූව, ඉදිරි සති තුළ දේශීය ආදායම් ඉලක්ක සම්පූර්ණ කිරීම වෙනුවෙන් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ 2019 වර්ෂයට අදාළ දිරි දීමනා ගෙවීම් කටයුතු සිදු කෙරෙනු ඇති.

    දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් කැපවීමෙන් සිය සේවය ඉටුකිරීම රජයක් වශයෙන් අගය කරන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

    කොවිඩ් අර්බුදය සමයේ වුවත් සේවකයින්ට හිමිය යුතු දිරි දීමනාව ලබාදීමට රජය ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු සේවකයින්ගේ ගෞරවය සහ ස්තූතිය පළකරන බව මෙහිදී දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන් සංගමයේ නිලධාරීන්,දේශීය ආදායම් පොදු සේවක සංගමයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වයි.

    Latest News