නාකොටික් ගබඩාවේ තිබූ හෙරොයින් 600kgක් රජයේ රස පරීක්‍ෂක වෙත

ජූලි 10, 2020

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නඩු ගබඩා කාමරයේ තිබූ හෙරොයින් කිලෝ 600කට අධික ප්‍රමාණයක් බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත අද රැගෙන එනු ලැබීය.

    ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්‍ෂාව මධ්‍යයේ. මේවා මෙතෙක් අධිකරණය හමුවට ඉදිරිපත් නොකළ ඒවා බවට සැක කෙරේ.

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තබන ලද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ආන්දෝලනාත්මක ප්‍රධාන නඩු භාණ්ඩ ගබඩාව ඊයේ විවෘත කර, සිදු කළ පරීක්‍ෂාවකදී මෙම හෙරොයින් තොගය සොයාගෙන තිබේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉකුත් 08 වැනි දින ලබාදුන් විශේෂ නියෝගයකට අනුව මෙම ප්‍රධාන නඩු භාණ්ඩ ගබඩාවේ මුද්‍රා කඩා ඊයේ දහවල් විවෘත කෙරිණ.

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහ රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් එක්ව එය පරීක්‍ෂාවට ලක් කළේය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඇතැම් නිලධාරීන් කළ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ ආරම්භ කිරීමෙන් පසු, අදාළ නඩු භාණ්ඩ ගබඩාවට ජුනි 28 වැනි දින මුද්‍රා තැබිණ. මෙම නඩු භාණ්ඩ ගබඩාවේ තිබෙන මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය රජයේ රස පරීක්‍ෂකවරයාට ඉකුත් 08 වැනිදා නියෝග කළාය.

    Latest News