ජනපති කොළඹ දිස්ත්‍රික්කයේ ජනහමු කිහිපයක

ජූලි 10, 2020

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සහභාගි වූ තවත් ජනරැළි කිහිපයක් ඊයේ පැවැත්විණ.

    ඒ කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින්.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂක, අජිත් සුබසිංහ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා සංවිධාන කෙරුණු ජන හමුවක් ඊයේ අයි ඩී එච් ප්‍රදේශයේදී පැවැත්විණ. එහි පැමිණි ජනාධිපතිතුමාට ජනතාවගෙන් හිමිවුණේ උණුසුම් පිළිගැනීමක්. කොලොන්නාව ප්‍රදේශයට දීර්ඝ කාලයක සිට අඩුපාඩුවක්ව පවතින ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය සේවා කාර්යාලයක් ලබාදෙන ලෙස ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේය. ඒ සඳහා එතුමාගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් හිමි වූ අතර, ඒ පිළිබඳ සොයා බලන ලෙස නිලධාරින්ට උපදෙස් ලබාදුන්නේය. පිළිකා රෝගයෙන් පෙළෙන කුඩා දැරියක් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේ, එතුමා සමඟ ඡායාරූපයකට පෙනී සිටිමට අවස්ථාව ලබාදෙන ලෙසයි. එම ඉල්ලීමට අවස්ථාව ලබාදුන් ජනාධිපතිතුමා දැරියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය.

    ඒ අතර ජනාධිපතිතුමා “දියත උයන” පරිශ්‍රයේ සංවිධාන කර තිබූ ජනහමුවකට ද එක්විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂක උදය ගම්මන්පිල මහතාගේ ජය තහවුරු කිරීම සඳහා ජනහමුව පැවැත්විණ. ජනතාව සමඟ සුහද පිළිසඳරක නිරත වූ ජනාධිපතිතුමා ඉදිරිපත් වූ ජනතා ගැටලු පිළිබඳ අවධාය යොමු කරනු ලැබීය.

    ඉන් අනතුරුව ජනාධිපතිතුමා, සහභාගිවුණේ, කඩුවෙල ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ජන හමුවකටයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂක විමල් වීරවංශ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා ජනහමුව පැවැත්විණ. එහි පැමිණි ජනාධිපතිතුමාට උණුසුම් පිළිගැනීමක් හිමිවූ අතර, එතුමා ජනතාව සමඟ සුහද පිළිසඳරක නිරත වෙමින් ප්‍රදේශයේ අඩුපාඩු පිළිබඳ සොයා බැලීමට එක්විය.

    Latest News