විදුලි වංචා වැටලීම් වැඩිකිරීමට ඇමති උපදෙස්

ජූලි 01, 2020

    විදුලිය වංචනික ලෙස ලබා ගන්නා පුද්ගලයින් නීතිය රැහැනට හසු කර ගැනීමට කරන වැටලීම් වැඩි කරන්නැයි, අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස් දී තිබේ. විවිධ පුද්ගලයින් වංචනික ලෙස විදුලිය ලබා ගැනීම නිසා විදුලිබල මණ්ඩලයට වාර්ෂිකව රුපියල් මිලියන 100කට අධික මුදලක් අහිමි වන බවයි, වාර්තා වන්නේ.

    ලංකා විදුලි බල මණ්ඩලය සිය විමර්ශන කණ්ඩායම් හා පොලීසිය සමග එක්ව මේ සම්බන්ධයෙන් විශේෂ මෙහෙයුමක් ක්‍රියාවට නංවා තිබේ. ඒ අනූව, ඉකුත් වසරේ මැයි සිට පසුගිය මැයි මස දක්වා කාලසීමාවේ සිදුකළ මෙහෙයුම්වල දී වංචනික ලෙස විදුලිය ලබා ගැනීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 1,937 දෙනෙක්. ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබා දුන් තීන්දු අනූව, දඩ මුදල් ලෙස රුපියල් මිලියන 59ක් අය කර ගෙන ඇති බවයි, ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ.

    ඇතැම් පුද්ගලයින් නීති විරෝධී ලෙස වැඩි වශයෙන් විදුලිය ලබා ගෙන ඇත්තේ, වගාවන්ට හානිකරන සතුන් පලවා හැරීමට බව පෙනී ගොස් තිබේ. විදුලිය හා බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ, ඇතැම් පුද්ගලයින් තම ව්‍යාපාරික ස්ථානයකට නීත්‍යානුකූලව ලබා දී ඇති විදුලි බලය වෙනත් ව්‍යාපාරික කටයුතු සඳහා ද භාවිත කරන බවට තොරතුරු හෙළි වී ඇති බවයි.

    විදුලිය නීති විරෝධී ලෙස ලබා ගැනීමට යාම හා තවත් විවිධ හේතූන් මත විදුලිසැර වැදීමෙන් වාර්ෂිකව 100ත් 150ත් දක්වා වූ පිරිසක් මිය යන බව ද හෙළිවී තිබේ.

    Last modified on බදාදා, 01 ජූලි 2020 16:24

    Latest News