ඇවන්ගාඩ් සිද්ධිය ගැන හිටපු සොලිසිටර් ජනරාල් කරුණු කියයි (වීඩියෝ)

ජූනි 30, 2020
  • ඇවන්ගාඩ් සිද්ධියට සාක්‍ෂි පවතින්නේ නම්, ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගන්නැයි, යහපාලන ආණ්ඩුව සමයේ දී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා තමාට පැවසූ බව, හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතා පවසයි.

    අරලියගහ මන්දිරයේ පැවති සාකච්ජාවකින් අනතුරුව ඉන් පිටතදී හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කළ බව ගම්ලත් මහතා කියා සිටියේය.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ, පසුගිය රජය සමයේ දේශපාලන පලිගැනීම් පිළිබඳ පරීක්‍ෂාකර තොරතුරු ලබාගැනීම සඳහා වූ ජනාධිපති කොමිසම හමුවේ අද පස්වරුවේ සාක්‍ෂි ලබාදෙමින්. ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා කොමිසමට කරන ලද පැමිණිල්ලකට අනුව සාක්‍ෂි විභාගය පැවැත්විණ.

    එහිදී හිටපු සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේ, පසුගිය රජය සමයේ අවස්ථා රැසකදී රාජ්‍ය නිලධාරීන් අරලියගහ මන්දිරයට කැඳවා විභාගවන නඩු සම්බන්ධයෙන් කරුණු විමසූ බවයි. එම සම්ප්‍රදාය කිසිසේත් උචිත නොවන බව සඳහන් කළ ඔහු විශේෂයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දේශපාලනඥයන් හමුවට කැඳවා විභාග වන නඩු සම්බන්ධයෙන් කරුණු විමසීම සිදු නොවිය යුතු බව පෙන්වා දුන්නේය.

    එහෙත් පසුගිය රජය සමයේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් එවැනි රැස්වීම් ගණනාවක් පැවති බව ඔහු කියා සිටියේය. මහාධිකරණ විනිසුරුවරයෙකුගේ දියණියකගේ විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි වෙමින් සිටියදී නීතිඥ උපුල් ජයසුරිය මහතා දුරකතන ඇමතුමක් ලබාදෙමින් කියා සිටියේ, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමා පැමිණෙන තෙක් බලා සිටින බවයි. ඒ අනුව, අදාළ ස්ථානයට ගියවිට දක්නට ලැබුණේ, විශාල රැස්වීමක් බව කී ඔහු එහිදී ඇවන්ට්ගාඩ් නඩුව සම්බන්ධයෙන් තමාගෙන් කරුණු විමසූ බව ප්‍රකාශ කළේය.

    එම අවස්ථාවේදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඔහු වාඩිවී සිටි ස්ථානයේ මේසයට ගසමින් කියා සිටියේ, ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළ පුද්ගලයෙකුට විදේශ ගතවීමට නිලධාරියෙකු උදව්කර ඇති බවයි.

    මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් නීතිපතිවරයා ද තමා දැනුවත් කළ බව කී ගම්ලත් මහතා, අර්ජුන් මහේන්ද්‍රන් මහතා ද එම රැස්වීමේ සිටි බව කියා සිටියේය. එමෙන්ම, ආරක්‍ෂක අංශ නිලධාරීන්, ප්‍රධානීන්, අල්ලස් කොමිසම ඇතුළු ආයතන නිලධාරීන් ද එම සාකච්චාවල සිටි බව ඔහු සඳහන් කළේය. මේ ආකාරයෙන් දේශපාලනඥයන් ඉදිරියේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් නඩු විමසීම පිළිබඳ ක්‍රියාදාමය වැරදි සහගත බව, ගම්ලත් මහතා පෙන්වා දුන්නේය.

    ඇවන්ට්ගාඩ් නඩුව සම්බන්ධයෙන් මත කිහිපයක් පැවති අතර, ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අදහස වූයේ එය නඩුවක් දක්වා ගෙනයාමට හැකියාවක් නොමැති බවයි. මේ අතර, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා මෙරටින් සමුගැනීම නිමිත්තෙන් පැවති උත්සවයකින් පසු හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ද නඩුව පිළිබඳව අදහස් විමසීය.

    තමා එම අවස්ථාවේ එවැනි විමසීමක් කිරීම සුදුසු නොවන බව සඳහන් කළ ගම්ලත් මහතා, එහිදී හිටපු අමාත්‍යවරයා නොරිස්සුම් ස්වභාවයක් දැක්වූ බව, කියා සිටියේය. අනතුරුව ඔහු පාර්ලිමේන්තුවේදී තමාට බැන වැදුණු බව ද ඔහු ප්‍රකාශ කළේය.

    හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක යන මහත්වරුන් ද අද කොමිසම හමුවේ සාක්‍ෂි දීමට පැමිණියේය. කොමිසම අද රැස්වූයේ, එහි සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. හිටපු අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක, හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු යන මහත්වරුන් කොමිසමේ සෙසු සාමාජිකයන් වේ.

    Last modified on අඟහරුවාදා, 30 ජූනි 2020 20:12

    Latest News