logo

පිටිපන ගිනි අවි ගැන පැති ගණනාවකින් පරීක්‍ෂණ (වීඩියෝ)

ජූනි 30, 2020
  • හෝමාගම පිටිපන ප්‍රදේශයෙන් ඊයේ සොයා ගැනුණ සංවිධානාත්මක අපරාධ කල්ලියකට අයත් ගිනි අවි තොගය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන අරඹා තිබේ.

    ඊයේ දහවල් මෙලෙස අත්අඩංගුවට ගැනුණේ, මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලියකට අයත්ව තිබී එක් අවස්ථාවකදී සොයාගත් වැඩිම ගිනි අවි සංඛ්‍යාවයි.

    පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ විශේෂ මෙහෙයුමකින් ගිනි අවි සොයා ගැනීමෙන් පසු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රී මේ සම්බන්ධ විමර්ශන ආරම්භ කළේය. මීට පෙර වෙනත් අපරාධවලට යොදාගෙන, සොයාගත නොහැකි වූ ගිනි අවි මෙන්ම, ආරක්‍ෂක අංශවලින් අස්ථානගත වූ අවි, මේ අතර තිබේද යන්න ගැන විමර්ශනය කිරීමට අපේක්‍ෂිතයි.

    තවද මෙතරම් ගිනි අවි තොගයක් එක් ස්ථානයක ගබඩා කර තැබීමේ අරමුණ හා එම අවි එක් ස්ථානයකට ඒකරාශීවීමේ සබඳතා ජාලය කවරේද සහ කවුරුන් මේවා සපයා ඇද්ද යනාදී වශයෙන් පැති ගණනාවකින් විමර්ශන සිදු කරන බව පොලිසිය පවසයි.

    එම ගිනි අවිවල අංක මකා දමා ඇත්නම්, රජයේ රස පරීක්‍ෂකවරයාගේ විමර්ශනයකින් පසු ඒවා හෙලි කර ගැනීමට අපේක්‍ෂා කරන බව පොලිසිය කියා සිටී. මීගොඩ කරුවලපිටිය ප්‍රදේශයේ පදිංචි පළමු සැකකරු මාසයකට පමණ ඉහත දී මෙම ගිනි අවි මෙම ස්ථානයට රැගෙනවිත් ඇති බව මේ වනවිට හෙළි වී ඇත.

    කොස්ගොඩ තාරකට එරෙහි සංවිධානාත්මක කල්ලියකට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා මෙම අවි සූදානම් කර තැබුවේද යන්න පිළිබඳවත් විමර්ශනයේ දී විමසා බැලෙනු ඇත.

    මාතර නගරයේ 2018 ජුනි 22 වැනිදා සිදුවූ ස්වර්ණාභරණ කොල්ලය සඳහා වාහන සැපයූ බවට එල්ල වූ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු දැනට ඇප මත නිදහස් වී සිටී. එම කොල්ලය මෙහෙයවනු ලැබුවේ කොස්ගොඩ තාරක නමැති සංවිධානාත්මක අපරාධකරුවායි. කොල්ලය වැළැක්වීමට ක්‍රියා කළ 33 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු ද එම අපරාධ කල්ලිය විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.

    ගිනි අවි සමඟ පළමු සැකකරු සහ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු ද අත්අඩංගුවට ගැනින. එම ස්ථානයේ තිබී ගිනි 56 ගිනි අවි 11ක්, ටී 81 වර්ගයේ අවියක්, ඩීවීආර් යන්ත්‍රයක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. එම අවි සියල්ල ක්‍රියාකාරී තත්වයේ පසුවන බව ද එම බලකාය කියා සිටී.

    Last modified on අඟහරුවාදා, 30 ජූනි 2020 20:17

    Latest News