බුත්තල රිය අනතුරකින් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට

ජූනි 25, 2020

    වැල්ලවාය මොනරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල පැල්වත්ත ප්‍රදේශයේ දී අද (25) අලුයම 3.50ට පමණ සිදුවු රිය අනතුරකින් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ව සිවිල් ආරක්ෂක නිලධාරියෙක් තුවාල ලබා තිබේ.

    මෙම පොලිස් නිලධාරීයා සහ සිවිල් ආරක්ෂක සෙබලා බුත්තල පොලීසියට අනුයුක්තව සේවය කරන අතර ඔවුන් ඊයේ (24) රාත්‍රී පැල්වත්ත ප්‍රදේශයේ බීට්ටු සංචාරය කරමින් සිටින අතර මෙම අනතුර සිදුව තිබේ.

    අධික වේගයෙන් පැමිණි කැබ් රථයක් යතුරුපැදියේ පසුපස ගැටී අනතුර සිදු වී තිබේ. අනතුර සිදුවූ ස්ථානයේ සිට මීටර් 75ක් පමණ දුරට යතුරු පැදිය කැබ්රථයේ ගැටී ඇඳී ගොස් ඇත.

    අනතුර සිදුකල කැබ්රථය අනතුරින් පසු පලාගොස් ඇති අතර පසුව පොලීසිය විසින් මොනරාගල ප්‍රදේශයේ දී කැබ් රථය සහ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

    අනතුරින් මියගොස් ඇත්තේ බුත්තල පොලීසියට අනුයුක්තව සේවය කරන අක්කර විසිපහ, හුලංදාව,මොනරාගල ලිපිනයේ පදිංචි දාපනදූරගේ සුරංග මහේෂ් නැමැති 33 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයකු බව පොලීසිය පැවසීය.

    තුවාල ලැබූ සිවිල් ආරක්ෂක සෙබළා වයස අවුරුදු 35ක පුද්ගලයකු වන අතර ඔහුගේ තත්ත්වය ද බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

    අනතුර සිදුකල කැබ්රථයේ රියදුරු බීමත්ව සිට ඇති බවට මේවන විට අනාවරණය වී ඇති අතර සැකකරු අද වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන බුත්තල පොලීසිය විසින් සිදු කරයි.

    Latest News