රාජ්‍ය ආයතන සඳහා 'Flexible Hour'

ජූනි 25, 2020

    කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කර ගැනීම සඳහා සෞඛ්‍ය අංශ විසින් දෙන ලද උපදෙස් පරිදි සමාජ දුරස්ථභාවය පවත්වාගැනිම ඇතුළු සියලු සෞඛ්‍ය උපදෙස් තවදුරටත් පිළිපැදීම සියලු අංශ තුළ ක්‍රියාත්මක විය යුතුය.

    විශේෂයෙන්ම දැනට අපේ රටේ සියලු රාජ්‍ය හා පුද්ගලික  ආයතන සීමාවන් සහිතව තම සේවාවන් හා රාජකාරි කටයුතු පවත්වාගෙන ගියද,  ජූලි මස 05 දිනෙන් පසුව පාසැල් කටයුතු අදියරෙන් අදියර ආරම්භ වන අතර ජූලි 20 දින සිට සියලු පාසැල් යළි විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ඇති තීරණයත් සමග නැවතත් මාර්ගවල වාහන තදබදයක් මෙන් මහජනතාව පොදු ප්‍රවාහණ සේවා භාවිතා කිරීම ඉහළ යාම අනිවාර්යය.

    මේ නිසා නම්‍යශීලි සේවා ක්‍රමයක් හඳුන්වා  දීම සඳහා අතිගරු ජනාධිපතිතුමන් විසින් තම අමාත්‍යාංශයට ලබා දී ඇති උපදෙස්  පරිදි ඒ සඳහා නිර්දේශ සකස් කිරීමට විදුලිබල බලශක්ති, ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් කමිටුවක් පත් කරනු ලැබීය.

    මෙම කමිටුව විසින් රාජ්‍ය ආයතනවල නම්‍යශීලි සේවා ක්‍රමයක් හඳුන්වා දීම සඳහා කාර්යාල වේලාවන් සංශෝධනය කිරීමට අදාලව නිර්දේශ සකස් කිරීම මේ වනවිට අවසන් කර තිබේ.

    ඒ අනුව එකී නිර්දේශ ඇතුළත් කමිටු වාර්තාව ලබන සතියේ ප්‍රවාහණ සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී සෙනවිරත්න මහතා විසින් බාර දීමට නියමිතය.

    මාර්ගවල තදබදය අවමකිරීමත්, තවදුරටත් සෞඛ්‍ය අංශ උපදෙස් මත පොදු ප්‍රවාහණයේ දී ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහණය කිරීම මෙන්ම අනෙකුත් සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම තවදුරටත් අනිවාර්යය වේ. එමනිසා වාහනවල මෙන්ම මහාමාර්ගවල ඇති විය හැකි තදබදය අවම කිරීමේ අරමුනින් මෙම නම්‍යශීලි සේවා ක්‍රමය හඳුන්වා දීමට කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    මෙම නිර්දේශ ඇතුළත් වාර්තාව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත බාර දෙන අතර එහි නිර්දේශ අනුව ක්‍රියාත්මක කිරීම එම අමාත්‍යාංශය විසින් සිදු කරනු ලබයි.

    Latest News