ජනපතිට, අගමැතිට ජාතියේ ප්‍රණාමය හිමිවන බව මිරිසවැටිය නායක හිමියෝ පවසති

ජූනි 20, 2020

    තිස් වසරකට වැඩි කාලයක් පැවති යුද්ධය තෙවසරකින් නිමාකර දැවි දැවී සිටි රටකට නිදහස උරුමකරදුන් ජනපතිට, අගමැතිට ජාතියේ ප්‍රණාමය හිමිවන බව මිරිසවැටිය විහාරාධිකාරී පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියෝ පවසති.

    රට හදන්න පෙරමුණ ගෙන සිටින ජනාධිපතිතුමා සමග සමස්ත මහා සංඝරත්නය සිටින බවත් එහි කිසිදු වෙනසක් සිදු නොවන බවත් උන්වහන්සේ අවධාරණය කළහ.ඝෘජු ප්‍රතිපත්තියක් ඇති, සෑම අතින්ම අංග සම්පූර්ණ ජනාධිපති කෙනෙකු රටට සිටීම මහත් වාසනාවක් බව ද ඥාණතිලක හිමියෝ පැවසූහ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනයට ආශිර්වාද පළ කරමින් අද (20) දහවල් මිරිසවැටිය විහාරස්ථානයේ දී සියක් නමක් උදෙසා පිරිනැමුණු සංඝගත දක්ෂිණාව අවසානයේ විශේෂ අනුශාසනාවක් කරමින් පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියෝ මේ බව සඳහන් කළහ.

    අනුරාධපුර අටමස්ථානය කේන්ද්‍රකර ගනිමින් දිනය පුරා පැවති ආගමික වතාවත් හා සමගාමීව දානමය පිංකම සිදු කළ ජනාධිපතිතුමා මිරිසවැටිය චෛත්‍යය වැද ආශිර්වාද ලබා ගැනීමෙන් පසු විහාර මන්දිරය වෙත ගොස් බුද්ධ පූජාව පිළිගන්වා ආගමික වතාවත්වල නිරත විය. කූඩුගත කර සිටි පරෙවියන් නිදහස් කිරීම ද රාජපක්ෂ මැතිතුමාගේ දෑතින් සිදු කෙරිණ.

    දානමය පිංකම අතරතුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ අනුශාසකත්වයෙන් මිරිසවැටිය විහාරාධිකාරී පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන්ගේ සංවිධායකත්වයෙන් උතුරු මැද පළාත් මහා සංඝරත්නය වෙනුවෙන් ජනාධිපතිතුමාට සහ අයෝමා රාජපක්ෂ මැතිණියට සිහිවටන පිළිගැන්වීමක් ද සිදු කෙරිණ.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ ඥාතීහු සහ හිතවත්හූ පිංකමට එක්ව සිටියහ.මේ අතර ජනාධිපතිතුමා සිය ජන්ම දිනය නිමිත්තෙන් කොළඹ, හුණුපිටිය ගාමිණි මාතා වැඩිහිටි නිවාසයට වාර්ෂිකව පිරිනමන දානමය පිංකම මෙවරත් සංවිධාන කෙරිණ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 2016 වසරේ සිට අඛණ්ඩව මීට දායකත්වය සපයන අතර ජනාධිපති කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් අද (20) දහවල් ද දානමය පුණ්‍ය කර්මය සිදු විය.

    Last modified on සෙනසුරාදා, 20 ජූනි 2020 18:50

    Latest News