රිශාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ජූනි 18, 2020

    හිටපු අමාත්‍ය රිෂාද් බදුයුදීන් මහතා ගේ සොහොයුරෙකු වන බදියුදීන් මොහොමඩ් රියාජ් නමැත්තා නිදහස් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජුලි මස 6 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

    පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රහස් පොලිසිය විසින් ඔහු මේ වන විට රඳවාගෙන සිටිනවා.

    මෙම පෙත්සම අද සලකා බැලීම සඳහා ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී පෙත්සම සලකා බැලීම සඳහා ජුලි මස 6 වන දා කැඳවීමටයි අධිකරණය නියම කළේ.

    අත්අඩංගුවේ පසු වන බදියුදීන් මොහොමඩ් රියාජ් නමැත්තා වෙනුවෙන් ඔහුගේ බිරිඳ විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

    පෙත්සම්කාරිය කියා සිටින්නේ තම සැමියාට පාස්කු දින එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරය සමග කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවයි.

    තම සැමියා අත්අඩංගුවට ගැනීමේදී රහස් පොලිසිය මගින් කිසිදු හේතුවක් නොදන්වා සිටි බවත් මේ දක්වා ඔහු කිසිදු අධිකරණයකට ඉදිරිපත් කර නොමැති බවත් පෙත්සම්කාරිය ශ්‍රේෂ්ඨාධිකරණය අවි පවසනවා.

    හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ දේශපාලන ප්‍රතිරූපයට හානියක් සිදු කිරීමේ අරමුණින් තම සැමියා අත්අඩංගුවට ගෙන තිබෙන බවද ඇය සිය පෙත්සමෙන් සඳහන් කර තිබෙනවා.

    ඒ අනුව අත්අඩංගුවේ පසුවන සිය සැමියා නිසි අධිකරණයක් හමුවට ඉදිරිපත් කර ඔහු නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද ඇය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා

    Latest News