දැරියක අපයෝජනය කළ චීවරධාරියෙකු වසර 8 සිර දඬුවම්

ජූනි 18, 2020

    දහම් පාසල් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා පැමිණි නව හැවිරිදි දැරියකට බරපතළ ලිංගික අපයෝජනයන් සිදු කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු චීවරධාරියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් බරපතළ වැඩ සහිත වසර 08 සිර දඬුවම් නියම කරන ලදී.

    කොළොන්නාව ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති ධූරය දැරූ 47 හැවිරිදි චීවරධාරියෙකුට මෙසේ දඬුවම් නියම වුණා.

    ඊට අමතරව විත්තිකරුට රුපියල් දස දහසක දඩයක් නියම කළ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබූවද අමතරව මාස 03 ලිහිල් සිර දඬුවම් නියම කරන බව ද සඳහන් කළා.

    එමෙන්ම අතවරයට පත් දැරියට රුපියල් 30000/- ක් වන්දියක් ගෙවන ලෙසත් එම වන්දිය ගෙවීම පැහැර හරිනු ලැබූ එම මුදල දණ්ඩනයක් වශයෙන් අය කර ගන්නා ලෙසද නියෝග කළ විනිසුරුවරයා එම දණ්ඩන මුදල ද ගෙවීම පැහැර හරිනු ලැබූවොත් විත්තිකරුට අමතරව මාස 8 ක ලිහිල් සිර දඬුවම් නියම කරන බවද නිවේදනය කළා.

    2010 වසරේ නොවැම්බර් මස 27 වන දා කොළොන්නාව ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති ලෙස කටයුතු කළ විත්තිකාර චීවරධාරියා විසින් දහම් පාසැල් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා පැමිණි නව හැවිරිදි දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා.

    දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විත්තිකරුට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවත් ඒ අනුව ඔහු එම චෝදනාවට වරදකරු කරන බව සඳහන් කළා.

    විත්තිකරු විසින් සිදු කර තිබෙන වරද ඉතා බරපතළ යැයි සඳහන් කළ විනිසුරුවරයා භික්ෂුවක් වූ විත්තිකරු විශ්වාස කරමින් දහම් අධ්‍යාපනය ලැබීම සඳහා පැමිණි කුඩා දැරියකට මෙවැනි අතවරයක් සිදු කිරීම තම අධිකරණයට සුළු කොට තැකිය නොහැකි බවද සඳහන් කළා.

    විත්තිකරු විහාරස්ථාන තුනක විහාරාධිපතිත්වය දරමින් ශාසනයට විශාල සේවයක් සිදු කර ඇති හෙයින් ඔහුට ලිහිල් දඬුවමක් නිමකර ලෙස විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළා.

    ඒත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය අධිකරණය හමුවේ සඳහන් කළේ විත්තිකරු විසින් කළ හෝ කරනු ලැබූ සේවාවන් දඬුවම් නියම කිරීමේ දී අදාළ කර ගත නොහැකි බවයි.

    දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා අනතුරුව මෙම නියෝගය කළා.

    Latest News