දර්ගා නගරයේ මෙන් නැගෙනහිර ද කලබල ඇති කිරීමට සහරාන් දැරූ උත්සහය ගැන හෙළිදරව්වක් (වීඩියෝ)

ජූනි 17, 2020
  • අලුත්ගම දර්ගා නගරයේ 2014 වසරේ ඇති වූ නොසන්සුන්කාරී තත්වයට සමගාමීව නැගෙනහිර පළාත තුළ ද එවැනි තත්වයක් ඇති කිරීමට සහරාන් හෂීම් ම්‍රමුඛ අන්තවාදීන් පිරිසක් සැලසුම් කර තිබූ බව, පාස්කු ඉරු දින ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ දී ඊයේ අනාවරණ විය.

    ඊයේ රාත්‍රී සාක්‍ෂි ලබාදීමට පැමිණියේ එවකට නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස ක්‍රියා කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් ඇන්ඩෘ ලාල් පෙරේරා මහතායි.

    එම වකවානුවේ නැගෙනහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස පූජිත් ජයසුන්දර සහ නන්දන මුණසිංහ යන මහත්වරුන් සේවය කළ බව, සාක්‍ෂිකරු ප්‍රකාශ කළේය. මසකට වරක් පැවති බුද්ධි තොරතුරු සමාලෝචන රැස්වීම් සඳහා ද ඔවන්ගේ නියෝජිතයින් එක් වූ බව විශ්‍රාමික මේජර් ජෙනරාල් ඇන්ඩෘ ලාල් පෙරේරා මහතා කියා සිටියේය.

    කොමිසම විමසුවේ, නැගෙනහිර ජන කොට්ඨාස අතර ස්වදේශික භාවය ඉක්මවා සිදුවූ වෙනස්වීම් දක්නට ලැබුණේ ද යන්නයි. කාත්තන්කුඩි හා කින්නියා ප්‍රදේශ අරාබිකරයක් වීමේ ලක්‍ෂණ පෙන්නුම් කළත් බුද්ධි අංශ ඒ පිළිබඳ තොරතුරු සොයා ගැනීමෙන් එම තත්වයන් මැඩපැවැත්වීමට හැකිවූ බව හිටපු ආඥාපතිවරයා සඳහන් කළේය. ඔහු කියා සිටියේ, කාත්තන්කුඩි ප්‍රදේශයෙහි එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා වැඩි වශයෙන් දේශපාලන ක්‍රියාකාරකම්වල නිරත වූ බවයි. හිටපු අමාත්‍ය රාවුෆ් හකීම් දීඝවාපිය අවට තමා යටතේ ස්ථාපනය කරන ලද කඳවුරු ඉවත් කරන ලෙස ඉහළ නිලධාරීන්ට බලපෑම් කළ බව ද සාක්‍ෂිකරු හෙලි කළේය.

    දර්ගා නගරයේ ගැටුම්වලින් පසු නැගෙනහිර පළාතේ විහාරයකට හෝ භික්‍ෂුන් වහන්සේ නමකට හානියක් සිදු කිරීමට තව්හිද් ජමාද් සංවිධානයේ පිරිසක් සැලසුම් කළ බවට බුද්ධි අංශ තොරතුරු හෙළි කරගත් බව ද සාක්‍ෂිකරු කොමිසමට පැවසුවේය. පසු දිනම අදාළ කුමන්ත්‍රණකරුවන් පිරිස තම කඳවුරට ගෙන්වා අවවාද කිරීමෙන් පසු සිද්ධිය වැළකී ගිය බව ඔහු කියා සිටියේය. කොමිසම සාක්‍ෂිකරුගෙන් විමසුවේ ඉකුත් වසරේ පාස්කු ඉරුදින ප්‍රහාරයට එම පිරිස අතර සිටි අය සම්බන්ධ වූයේ ද යන්නයි. පිළිතුරු දෙමින් සාක්‍ෂිකරු සඳහන් කළේ, සහරාන් හෂිම් එම කණ්ඩායම් අතර සිටි බව ප්‍රහාරයෙන් පසු දැනගැනීමට ලැබුණු බවයි. එවැනි ප්‍රබල අයුරින් ක්‍රියාත්මක වූ බුද්ධි අංශයකට කුමක් සිදුවූයේ ද යන්න කොමිසම සාක්‍ෂිකරුගෙන් විමසා සිටියේය.

    2015 රජය බලයට පැමිණිමෙන් පසු බුද්ධි අංශ ක්‍රමයෙන් දුර්වලවීමට විවිධ කරුණු බලපෑ පෙන්වා දුන් සාක්‍ෂිකරු කියා සිටියේ, ඇතැම් නිලධාරීන් අත්අඩංගුවට ගත් අතරම තවත් නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ද ලැබුණු බවයි. තම සේවා කාලය අවසන්වීම හේතුවෙන් එම වසරේ තමන්ට ද ස්ථාන මාරුවක් ලැබුණු බව සාක්ෂිකරු කියා සිටියේය. සමස්ත බුද්ධි අංශ ජාලයම බිඳ වැටී තිබූ නිසා සහරාන් වැනි අන්තවාදීන් මෙතරම් විනාශයක් සිදු කිරීම දක්වා බලවත් වූ බව පෙනී යන බව විශ්‍රාමික මේජර් ජෙනරාල් ඇන්ඩෘ ලාල් පෙරේරා මහතා කියා සිටියේය.

    Last modified on බදාදා, 17 ජූනි 2020 20:40

    Latest News