ස්වර්ගස්තවූ අර්නස්ට් පෝරුතොට පියතුමාගේ දේහයට ගෞරව දැක්වීමට විශාල පිරිසක් (වීඩියෝ)

ජූනි 17, 2020
  • ස්වර්ගස්තවූ අර්නස්ට් පෝරුතොට පියතුමාගේ දේහය මේ වනවිට බොරැල්ල අගරදගුරු මැදුරේ “දිව්‍ය හෘදයේ දෙවි මැදුරේ” තැන්පත් කර තිබේ.

    උන් වහන්සේගේ දිව්‍ය පූජාව හා අවසන් කටයුතු ලබන 18 වැනිදා සවස 2.30ට කටුකුරුන්ද ශාන්ත පිලිප් නේරි දේවස්ථානයේ දී සිදු කිරීමට නියමිතයි.

    1931 වසරේ අගෝස්තු 31 වැනිදා මාරවිල පෝරුතොට ගම්මානයේ උපත ලැබූ අර්නස්ට් පෝරුතොට පියතුමා, 1957 පෙබරවාරි දෙවැනිදා කොළඹ කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේදී පූජාත්වරය ලැබීය. දෙවැනි වතිකාන සසුන් සමුළු කිතුණු පෙරළියෙන් දේශීයත්වය හද බැඳගත් උන් වහන්සේ, තෙල් මල්, පුන් කලස්, වැලි පාලම්, ගොක්කොළ සැරසිළි මෙන්ම තොරන් දේවස්ථානයෙහි පූජාවන්ට උපයෝගි කර ගනු ලැබීය. තරුණ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරයට නව පණක් දුන් පෝරුතොට පියතුමා, ජාත්‍යන්තර සිනමා පර්ෂදයේ ශ්‍රී ලංකා ශාඛාව වන ඕ.සී.අයි.සී ආයතනයේ ආරම්භක අධ්‍යක්‍ෂවරයායි. එමගින්, දක්‍ෂ සිනමාකරුවන් රැසක් ශ්‍රී ලාංකීය සිනමා කෙතට බිහි කෙරිණ. පෙරළිය, ගිහියා, වෘත්තීය සමිති විප්ලවය වැනි ග්‍රන්ථ උන්වහන්සේ විසින් සම්පාදනය කරනු ලැබීය. සරල සුගම මටසිළිටි ලෙස බස හැසිරවීමේ ජන්ම හැකියාව නිසා උන්වහන්සේ ලියූ ග්‍රන්ථ හා ලිපි ද ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය විය.

    අර්නස්ට් පෝරුතොට පියතුමාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා බොරැල්ල අගරදගුරු දෙව් මැදුර වෙත විශාල පිරිසක් පැමිණෙමින් සිටී. අද සවස 6.30 දක්වා එම දෙව් මැදුරේ තැන්පත් කර තැබෙන දේහය අනතුරුව කළුතර, කටුකුරුන්ද ශාන්ත පිලිප් දේවස්ථානය කරා රැගෙන යාමට නියමිතයි.

    Last modified on බදාදා, 17 ජූනි 2020 20:33

    Latest News