ගංවතුරින් එක් ලක්‍ෂ පහළොස් දහසකට පමණ පීඩා

දෙසැ 28, 2018

    උතුරු පළාතට බලපෑ අධික වැසි සහිත කාලගුණයෙන් එක් ලක්‍ෂ පහළොස් දහසක පමණ පිරිසක් පීඩාවට පත්ව ඇතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ, කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවලටයි. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අවතැන් වූ 5379 දෙනෙක් සුබසාධන කඳවුරු 17ක රඳවනු ලැබ සිටිති. මුලතිව් දිස්ත්‍රික්කයේ 4889 දෙනෙකු කඳවුරු 11ක රඳවා තිබේ. ඔවුන්ට අවශ්‍ය ආහාර ඇතුළු අනෙකුත් පහසුකම් සපයාදීමට යුද හමුදාව පියවර ගෙන ඇත.

    රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන මගින් ලැබෙන වියළි ආහාර ද්‍රව්‍ය යුද හමුදා නිලධාරීන්ගේ සම්බන්ධීකරණය යටතේ බෙදා හැරීම සිදු කෙරේ. ආගමික මධ්‍යස්ථාන රැසක් ද විපතට පත්වූවන්ට සහන සැලසීමට ඉදිරිපත්ව සිටී. අස්ගිරි මහා විහාරය එක්රැස් කළ වියළි ආහාර තොගයක් ලුතිතන් කර්නල් ධම්මික සේනානායක මහතා වෙත ඊයේ බාරදෙනු ලැබීය. එය සිදු කෙරුණේ අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙනි.

    Flood px 900 18 12 28

    කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක් තවමත් ජලයෙන් යටවී පවතී. ජලය බැසයමින් පවතින ප්‍රදේශවල ළිං පවිත්‍ර කිරීමේ ව්‍යාපෘතියක් නාවික හමුදාව සහ යුද හමුදාවේ දායකත්වයෙන් ක්‍රියාවට නැංවේ. උතුරු මැද නාවික විධානයේ කණ්ඩායම් 15ක් පමණ කිලිනොච්චි ප්‍රදේශයේ ළිං පිරිසිදු කිරීමේ නිරතව සිටිති. මේ වනවිට ළිං සියයක් පමණ පවිත්‍ර කර තිබේ. ජංගම ප්‍රතිආශ්‍රැත යන්ත්‍ර මගින් පානීය ජලය සැපයීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.

    සිදුවූ නිවාස හානි සඳහා රජය වන්දි ලබාදීමට නියමිතයි. පූර්ණ නිවාස හානි 170ක් ද අර්ධ නිවාස හානි 3506ක් ද වාර්තා වී තිබේ. ගංවතුරට හසුවූ නිවාස පිරිසිදු කරගැනීම සඳහා රුපියල් දස දහසක ක්‍ෂණික මුදලක් ලබාදීමට ද රජය පියවර ගෙන ඇත. හානි තක්සේරු කිරීමෙන් අනතුරුව වන්දි පිරිනැමීම සිදු කෙරේ.

     ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on සිකුරාදා, 28 දෙසැම්බර් 2018 19:42

    Latest News