ඉනෝකා සත්‍යාංගනී මහත්මිය යළි රූපවාහිනී සභාපති පුටුවට

දෙසැ 27, 2018

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධූරයට ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මහත්මිය යළි පත් කෙරේ.

    ඇය, අද වැඩ බාරගත්තාය. රූපවාහිනී සංස්ථා පරිශ්‍රයට අද උදේ පැමිණි ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මහත්මිය පිළිගනු ලැබුවේ සංස්ථාවේ කාර්ය මණ්ඩලය සහ එක්සත් ජාතික කලා සංසදයේ සාමාජිකයින් විසිනි. අනතුරුව, රූපවාහිනී සංස්ථා සභාපති කාර්යාලය වෙත පැමිණි ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මහත්මිය සභාපති ධූරයේ නිල වශයෙන් රාජකාරී ආරම්භ කළාය.

    “මුල්වරට රාජකාරී ආරම්භ කළදා පටන් මෙම ආයතනයේ අභිවෘද්ධිය උදෙසා නිලධාරීන් හා සේවක කණ්ඩායම් සියල්ල අත්වැල් බැඳගෙන වැඩසටහන් නව්‍යකරණය යටතේ විශාල වෙනස්කම් කරනු ලැබුවා. ඒ වෙනස්කම්වල ඇතැම් වැඩසටහන් ඔන්න-මෙන්න කියා එළිදකින්නට තිබියදී තමයි ඔක්තෝබර් 26 වැනිදා අපට නිහඬවීමට සිදුවුණේ තාවකාලිකව.

    පසුගිය කාලයේ විවිධ දූෂමාන ආරංචි පැතිරුණා රූ කියලා සන්නාමයක් අපි පෙරට අරගෙන සැළලිහිණි සන්නාමය පසුපසට දමන්නට අපි කටයුතු කරනවා කියලා. එය සම්පුර්ණ අසත්‍යයක්. ඇත්තටම ඒ දූෂමාන තොරතුරු සියල්ල පසෙකලා අපි අපේ ආයතනය වෙනුවෙන් අලුත් හුස්මක් අරගෙන අලුත් ගමනක් යන්නට අද පටන් ඉදිරි කාලය පුරාවට අධිෂ්ඨාන පූරවකව පෙළ ගැසෙමු.“ යැයි ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මහත්මිය ප්‍රකාශ කළාය.

    “සුළං කිරිල්ලී“ චිත්‍රපටයෙන් අන්තර් ජාතිකව ඇගැයීමට පාත්‍රවූ සිනමාවේදිනියක වන ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මහත්මිය “සින්ඩරෙල්ලා“ චිත්‍රපයේ ද අධ්‍යක්‍ෂවරියයි. මෙරට වැඩිම ජාත්‍යන්තර සම්මාන ගණනාවක් දිනා ඇති චිත්‍රපටය බවට සුළං කිරිල්ලී පත්ව තිබීම විශේෂත්වයකි. ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මහත්මිය එක්සත් ජාතික පක්‍ෂයේ පැරණිතම කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙකු මෙන්ම, ජාතික සේවක සංගමයේ පුරෝගාමී ලේකම්වරයෙකු වූ අභාවප්‍රාප්ත නීතිඥ ටියුඩර් ඒ කීර්තිනන්ද මහතාගේ දියණියයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 27 දෙසැම්බර් 2018 19:50

    Latest News