රාජිතගේ ඇප නියෝගය ඉවත දැමීමට කොළඹ මහාධිකරණය තීන්දු කරයි

මැයි 13, 2020

    ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය දෝෂ සහගත යැයි තීන්දු කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම තීන්දුව ඉවත දැමීමට නියෝග කළේය.

    ඉකුත් දෙසැම්බර් මස තිස් වනදා කොළඹ ලංකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරීමෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් දුන් නියෝගය අවලංගු කරන මෙන් ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක තීන්දුව දෙමින් විනිසුරුවරයා මෙම නියෝගය කළේය.

    තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මංජුල තිලකරත්න මහතා විවෘත අධිකරණයේ සඳහන් කර සිටියේ රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් දුන් තීන්දුව නීතිමය වශයෙන් මෙන්ම සිද්ධිමය වශයෙන් ද දෝෂ සහගත බවයි.

    මෙම සැකකරු ඇප මත මුදා හැරීමෙන් පසුව අධිකරණය මගහැර යාමට අවකාශයක් නොමැති බවට ඔහු ඇප මත මුදා හැරීමේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් පැමිණ තිබූ නිගමනය දෝෂ සහිත බවයි මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ.

    එමෙන්ම මෙම සැකකරුට ඇප ප්‍රදානය කිරීමට පෙර ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් ඔහු සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා ලවා ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවක් කැඳවීමට අවකාශ තිබූ බව පෙන්වාදුන් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එහෙත් මහේස්ත්‍රාත්වරිය එසේ කටයුතු නොකිරීම ගැටලු සහගත බව සඳහන් කළා.

    බන්ධනාගාර පනත අනුව රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලබන සැකකරුවකු රෝගී වූ විට බන්ධනාගාර රෝහලේ හෝ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා නිර්දේශ කරනු ලබන රජයේ පාලනය යටතේ ඇති රෝහලක පමණක් රඳවා තිබිය යුතු බව නීතියේ සඳහන් වන බවද විනිසුරුවරයා පෙන්වා දුන්නේය.

    ඒ අනුව සැකකාර රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබීම බන්ධනාගාර පනතේ 65 වන වගන්තිය යටතේ නීතියට පටහැනි ක්‍රියාවක් බවද විනිසුරුවරයා මෙහිදී අවධාරණය කළේය.

    මේ පිළිබඳව මහේස්ත්‍රාත්වරිය ඇප නියෝගයට ප්‍රකාශයට පත් කිරීමේ දී සිය අවධානය යොමු නොකිරීම දෝෂ සහිත බව ද මහාධිකරණ විනිසුරුවරයා විවෘත අධිකරණය ප්‍රකාශ කළේය.

    නීතිය ඉදිරියේ සෑම පුද්ගලයෙකු එක හා සමාන බවට ස්වර්ණමය සිද්ධාන්තයක් පවතින බවත් එක් පුද්ගලයෙකුට පමණක් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා ගැනීමට අවසර දීම තුළින් සෙසු සිරකරුවන්ට එම අයිතිවාසිකම භුක්ති විඳීමට තිබෙන අවකාශය අහිමි වන බවත් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා සිය තීන්දු ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.

    සමස්තයක් වශයෙන් ගත් කළ මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කිරීමේදී මහේස්ත්‍රාත්වරිය විසින් ඊට අදාල සිද්ධිය හා නීතිමය කරුණු කෙරෙහි අවධානය යොමු නොකිරීම දෝෂ සහිත තත්ත්වයක් බව පෙන්වාදුන් මහාධිකරණ විනිසුරු තිලකරත්න මහතා මෙම නියෝගය හරහා අධිකරණයේ මනස බරපතළ ලෙස කම්පනය වන ආකාරයේ දෝෂයක් හටගෙන තිබෙන බවත් සඳහන් කළා.

    ඒ අනුව සේනාරත්න මහතා ඇප මත මුදා හරිමින් ඉකුත් දෙසැම්බර් මස 30 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට යෙදුණු ඇප නියෝගය ඉවත දමන බවට තීන්දු කළ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරි පියවර ගැනීම සඳහා මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කරන ලෙසද නියෝග කර සිටියා.

    තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා වර්තමානයේ රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලබන සැකකරුවන් පෞද්ගලික රෝහල්වල ප්‍රතිකාර ගැනීම සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි විවේචනයක් පවතින බවත් ඒ සම්බන්ධයෙන් මෙම නඩු තීන්දුව තුලින් යහපත් මාර්ගෝපදේශයක් සැපයීම සම්බන්ධයෙන් තමන් ස්තූතිවන්ත වන බවත් සඳහන් කළා.

    මෙම නඩු තීන්දුව මගින් ඇප සම්බන්ධයෙන් දිවයිනෙ සියලුම මහේස්ත්‍රාත්වරුන්ට හොඳ මාර්ගෝපදේශයක් සපයන නඩු තීන්දුවක් වනු ඇතැයි ද රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා විවෘත අධිකරණයේ සඳහන් කර සිටියා

    Latest News