වැලිකඩ මත්කුඩු සහ මත්පැන් ගෙනා දොස්තර හා ඖෂධ සංයෝජකයෙකු මාට්ටු

දෙසැ 24, 2018

    වැලිකඩ බන්ධනාගාරයට අනුයුක්තව වෛද්‍යවරයෙකු මත්පැන් කාලේ බෝතල් දෙකක් සිරකරුවෙකුට ලබාදීමට යාමේදි අල්ලා ගැනීමට අද (24) බන්ධනාගාර නිලධාරීන්ට හැකිවේ.

    මෙම වෛද්‍යවරයා වැලිකඩ බන්ධනාගාර වෛද්‍ය මධ්‍යස්ථානයට අනුයුක්තව සේවය කරනු ලබන අතර අද ඔහුට රාජකාරී සදහා වාර්තා කිරීමට නොතිබු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

    අද සේවයට වාර්තා කිරීමට නොමැතිව තිබියදී පැමිණි වෛද්‍යවරයා මත්පැන් බෝතල් දෙක එක් සිරකරුවාට ලබාදී ඇත්තේ වෙනත් සිරකරුවෙකුට යොමු කිරිමට බව අනාවරණය වී තිබේ.

    වැලිකඩ බන්ධනාගාර අධිකාරී සී .උඩුවර මහතා සදහන් කළේ අදාළ වෛද්‍යවරයා මත්පැන් ( කාල) බෝතල් දෙකක් සිරකරුවෙකුට ලබා දෙන ආකාරය බන්ධනාගාර නිලධාරීයෙකු දැක ඇති බවයි. ඒ අනුව මත්පැන් බෝතල් දෙක සොයා ගෙන ඇත්තේ එම සිරකරුවා ළග තිබියදීය. වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීම සදහා අධිකරණයට කරුණු වාර්තා කරන බව වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා සදහන් කරයි.

    සිද්ධිය සම්බන්ධයෙන් මත්පැන් ලබා දෙන ආකාරය දැක එය පරීක්ෂාවට ලක් කළ බන්ධනාගාර නිලධාරීයාගෙන් ද කරුණු විමසා ඉදිරි කටයුතු සිදු කරනු ලබන බව අධිකාරීවරයා පවසයි.

    වේදනා නාශක බෙහෙත් කරල් දහ නවයක ඖෂධ ඉවත් කර හෙරොයින් මත්කුඩු පුරවා යළි සකස් කර බන්ධනාගාර රැදවියන්ට අලෙවි කිරීමට රැගෙන ආ වැලිකඩ බන්ධනාගාර රෝහලට අනුයුක්තව සේවය කරනු ලබන ඖෂධ සංයෝජකයෙකු බන්ධනාගාර නිලධාරීන් ඊයේ දහවල් සිදු කළ වැටලීමකදී අත් අඩංගුවට ගෙන තිබේ.

    වැලිකඩ බන්ධනාගාර අධිකාරී උඩුවර මහතා සදහන් කළේ මෙම පුද්ගලයා බෙහෙත් ද්‍රව්‍ය තුළ සගවා ගෙන මත් කුඩු වැලිකඩ බන්ධනාගාර රෝහලට ගෙන යන බවට ලද තොරතුරකට අනුව ඇති වු සැකය මත සිදු කළ පරීක්ෂාවකදී එම මත් ද්‍රව්‍ය සොයා ගත් බවයි.

    ඖෂධ සංයෝජකවරයා රාජකාරී සදහා වාර්තාකර නැවතත් බන්ධනාගාර පරිශ්‍රයෙන් පිටතට ගොස් තිබේ. එසේ ගොස් ආපසු එන අවස්ථාවේදී ඇති වු සැකය මත ඖෂධ සංයෝජකවරයා පරීක්ෂාවට ලක් කිරීමේදී හෙරොයින් මත් කුඩු පුරවා යළි සකස් කරන ලද වේදනා නාශක බෙහෙත් පෙති සොයා ගෙන තිබේ.

    මේ ආකාරයට මොහු දීර්ඝ කාලයට සිට ජාවාරමක් ලෙස වැලිකඩ බන්ධනාගාරය තුළට ඖෂධ තුළ සගවා රැගෙනවිත් රැදවියන්ට මත්කුඩු බෙදාහරින්නට ඇති බවත් ඒ පිළිබදව වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවත් බන්ධනාගාර අධිකාරීවරයා පවසයි. වැඩිදුර විමර්ශන සදහා සැකකරු බොරුල්ල පොලීසියට බාර දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

    Latest News